රනිල් - රවී ගැටුම දරුණුයි.


රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර ඇතිවී තිබෙන ගැටුම මේ වනවිට තීව්‍ර වී ඇති බවට වාර්තා වේ.

මෙම ගැටුම හටගෙන ඇත්තේ මෙතෙක් මුදල් අමාත්‍යංශයට අයත්ව තිබූ රාජ්‍ය බැංකු ඇතුළු ආයතන ගණනාවක් මුදල් ඇමතිවරයාගෙන් ඉවත් කර  රාජ්‍ය ව්‍යවසාය  කටයුතු අමාත්‍යංශයට පවරා දීමත් සමගය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ හිතෛෂී ඇමතිවරයකු වන එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාට  එම ආයතන භාරදී තිබේ.

මෙම තත්වයත් සමගම රවී කරුණානායක ඇමතිවරයා නැවතත් එම ආයතන තම අමාත්‍යංශයට ලබා ගැනීමට උත්සාහ දරා ඇති අතර අගමැතිවරයා නැවතත් එම ආයතන සිය අමාත්‍යංශයට ලබා දීමට කැමැත්ත පළ කළ බවට තමන්ට හිතවත් මාධ්‍ය ආයතන හරහා ප්‍රචාරයක් දියත් කර තිබේ. එහෙත් අගමැතිවරයා ඒ පිළිබඳව කිසිවක් මේ වනතෙක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

රාජ්‍ය ව්‍යවසාය කටයුතු අමාත්‍යංශයට අනුයුක්ත කළ මුදල් අමාත්‍යංශයේ ආයතන සඳහා මේ වනවිට එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා සිය අභිමතය පරිදි සභාපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන් පත් කරමින් සිටින අතර එයට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයා එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ සිය තනතුරුවලින් ඉල්ලා අස් නොවන ලෙසය.

මෙම ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මීට ඉහතදී මහ බැංකුවේ නිලධාරීන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදු වී තිබිණි. අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී එම තනතුරුවලට පත්කළ නිලධාරීන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවය. මෙම සිදුවීමත් සමග රවී කරුණානායක ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී තමාට මුදල් අමාත්‍යංශයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන්නේ නම් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවය.


Share on Google Plus