වජිරයි-විජේදාසයි-නීතිපතියි තුන්දෙනාම අස්වෙන්න ඕනෑ.


ආන්දෝලනාත්මක ඇවන්ගාඩ් සිද්ධිය මුල් කරගෙන තිලක් මාරපන පමණක් ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවන බවත් ඔහු සමඟ අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධනද නීතිපතිවරයාද සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැදවුරුම්කරු වන ගාමිණී වියන්ගොඩ මහතා කීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව කළ තිලක් මාරපනගේ කතාව මහජනතාව යහපාලන රජයෙන් අපේක්‍ෂා කළ දේ විනාශ කිරීමක් යැයිද මරදාන ඩීන්ස් පාරේ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ සඳුදා (9දා) පැවැති මාධ්‍ය හමුවේදී ගාමිණී වියන්ගොඩ මහතා කීය.

ඇවන්ගාඩ් සිද්ධිය සහ තිලක් මාරපන, විජේදාස රාජපක්‍ෂ යන අයගේ ක්‍රියාකලාපය සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මහජනයා දැනුම්වත් කිරීමට මාධ්‍ය හමුව පැවැත්විණි.

ගාමිණී වියන්ගොඩ මහතා මෙසේද කීය.

ඇවන්ගාඩ් නඩුවේ නීති උපදේශක වශයෙන් කටයුතු කරන තිලක් මාරපන පොලිසිය භාර ඇමැතිවරයායි. මේ ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරයකු වශයෙන් ඔහුට මේ සිද්ධියට මැදිහත් නොවන්නට තිබුණත් එසේ කළේ නෑ. එය සදාචාරාත්මක විරෝධී ක්‍රියාවක්.
ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්කුවේ තමා යැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂගේ ප්‍රකාශය මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට තදින්ම අතපෙවීමක් බව පැහැදිලියි.

අනවසරෙන් ගිනි අවි තුන් දහස් ගණනක් තබා ගැනීම ඇතුළු බරපතළ චෝදනා ඇති ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට ගෙන යෑමෙන් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති වජිර අබේවර්ධන ගැනත් මහජනයා අතර විශාල සැකයක් තියෙනවා.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂත්් අත්අඩංගුවට ගන්න අවශ්‍යයි. ඇවන්ගාඩ් සිද්ධිය ක්‍රිමිනල් කේස් එකක් බවට වාර්තා කළ නීතිපතිවරයා පසුව එය සිවිල් කේස් එකක් කීවා.

මෙවැනි අයගෙන් යහපාලන ආණ්ඩුවක් ගෙන යන්නේ කෙහොමදැයි මහජනයා අහනවා. ඒ නිසා තිලක් මාරපන, විජේදාස රාජපක්‍ෂ, වජිර අබේවර්ධන තුන් දෙනාම පාර්ලිමේන්තුවෙනුත් නීතිපති තනතුරෙනුත් ඉල්ලා අස්විය යුතුයි.

මේ අතර  ඇවන්ට්ගාඩ්  සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ තිලක් මාරපන අමාත්‍යවරයා තනතුරෙන් ඉවත්වූවා සේම, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බව ලංකා සමසමාජ පක්ෂ බහුතර කණ්ඩායම පවසනවා. එම කණ්ඩායම කොළඹ ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එහි කැඳවුම්කරු චමීර පෙරේරා මේ බව සඳහන් කළා.

එසේම ජනතා සේවක පක්ෂයද ඊයේ (10) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදීද තිලක් මාරපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් පළවුණා. එම පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ මෙය ආණ්ඩුවේ නාටකයක් ලෙසයි හැඳින්වූයේ.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද අනුරාධපුරයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය තිලක් මාරපනගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ජනතා ප්‍රශ්න යටගැසීම සඳහා ආණ්ඩුව ඇවන්ගාඞ් යොදාගෙන ඇති බවයි.


කෙසේ වෙතත් ඇවන්ගාඞ් සිද්ධියට අදාළ සියලූ පාර්ශවයන් සහභාගි වන විශේෂ රැස්වීමක් අද පස්වරු 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.  ඇවන්ගාඞ් සිද්ධියට අදාළව ආරක්ෂක අංශ ඇතුලූ සියලූ පාර්ශව සහභාගිවන රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරුණේ පෙරේදා (9) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි. 

Share on Google Plus