ඉලක්ක හා අරමුණු රැසක් ඉටුකිරීමට අපේක්ෂිතයි.


තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙරට සියලු පුරවැසියන් සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම රජයේ අරමුණ බව මැති ඇමැතිවරු පවසති.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ මඟින් ඉලක්ක සහ අරමුණු රැසක් ඉටුකිරීමට අපේක්ෂිත බවත් ඔවුහු පවසති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුහු මේ බව සඳහන් කළහ.

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතා,

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ආර්ථික වැඩපිළිවෙළ සුබවාදී එකක්. එය ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය දින දෙක තුළ කොටස් වෙළෙඳ පොළ අගයත් 7%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ වගේම එතුමා ඉදිරිපත් කළ යෝජනාවලිය සක්‍රීයව ඉටුකිරීමට ඇමැති මණ්ඩලය ලෙස අපි සාමුහිකව බැඳී සිටිනවා. ඒ වගේම නිපුණතා අංශය, වෘත්තීය පුහුණු අංශය කෙරෙහිත් මේ ප්‍රකාශනය මඟින් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

රජය රැකියා දශ ලක්ෂයක් ඇති කිරීමට අපේක්ෂිත වැඩසටහනේදී මගේ අමාත්‍යංශයෙන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකිරීමට සිදුවෙනවා. රැකියා දශ ලක්ෂයක් බිහිකිරීමේදී එම දශ ලක්ෂයම රාජ්‍ය අංශයෙන් බිහිකිරීමේ හැකියාවක් නෑ. ඒ නිසා අපට මේ වෙනුවෙන් පෞද්ගලික අංශය සහ විදේශ රැකියා අංශයත් යොදා ගැනීමට සිදුවෙනවා. මේ වෙනුවෙන් අදාළ අනෙකුත් අමාත්‍යංශ හා ආයතන සම්බන්ධීකරණය කරමින් කටයුතු කිරීමටත් සිදුවෙනවා.

එමෙන්ම අපගේ තරුණ පරපුරට හා රැකියා අපේක්ෂා කරන්නන් වෙනුවෙන් ඉංග්‍රීසි පුහුණු වැඩසටහන් ඇතිකිරීම, සිසුන්ට පුහුණුව ලබාදෙන ගුරුවරුන් පුහුණු කිරීම ආදී වැඩසටහන්ද සිදුකිරීමට අපේක්ෂා කරනවා. මේ වෙනුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය, කැනඩාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් තම සහය පළ කිරීමටත් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම මගේ අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන යොදා ගනිමින් ශ්‍රම වෙළෙඳ පොළ ශක්තිමත් ලෙස නව ලොවට ගැළපෙන ලෙස ඇති කිරීමට කටයුතු කරනවා.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා,

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා පළමු පරම්පරාවේ ආර්ථික ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කළා. ඉන්පසුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රටේ ආර්ථිකය ‍ගොඩනැඟීම වෙනුවෙන් දෙවන පරම්පරාවේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ඉන්පසුව තෙවන පරම්පරාවේ ආර්ථික වැඩපිළිවෙළ අපගේ රජය යටතේ ඉදිරිපත් කළා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික වැඩපිළිවෙළට ජීවය දෙමින් රට නව දිශාවකට ගමන් කරවීමේ අරමුණින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කළා. ඉදිරි වසර තිහක හතළිහක කාල වකවානුවේදී අපගේ රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය මෙම මධ්‍යකාලීන ආර්ථික වැඩසටහනින් පිළිබිඹු වෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ආර්ථික වැඩපිළිවෙළ මඟින් වෙළෙඳ පොළ තරගකාරිත්වයෙන් යුතු සමාජ ආර්ථික වෙළෙඳ පොළක් ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ පොළ තරණය කිරීම හරහායි අපගේ ඉදිරි ගමන තීරණය වන්නේ. ඒ වගේම අපගේ අපනයන වෙළෙඳ පොළ, අපනයන ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. ඒ වෙනුවෙන් අප අනුගමනය කළ යුතු ක්‍රියාවලීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් මේ මඟින් යොමුකර තිබෙනවා.

ඒ වගේම ශ්‍රම වෙළෙඳ පොළ පුළුල් කිරීම, පුහුණු ශ්‍රම බළකාය වර්ධනය කිරීම, සමස්ත ජනතාව සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම ආදිය කෙරෙහිත් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ඒ වගේම තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ මෙරට සියලු පුරවැසියන් ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමත් රජයේ අරමුණක්. ඒ වගේම සමුපකාර ක්‍රමය ශක්තිමත් කිරීමත් ඉතා වැදගත්.

ඒ වගේම දිළිඳු ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ ඉඩම්වල වසර 10කට අධික කාලයක් පදිංචි වූවන් හා රජයේ නිවාසවල වසර දහයක් පදිංචි වූවන් හට එම ඉඩම් හා නිවාසවල අයිතිය ලබාදීම විප්ලවීය ප්‍රතිසංස්කරණයන් ලෙසයි සැලකිය හැක්කේ.

වසර හතළිහක කාල පරාසය තුළ ඉදිරිපත් කරන ලද ඓතිහාසික හා විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ලෙස මෙම මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වන්නට පුළුවන්.

සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුවෙන් වෙන් කර වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන යාමටත් අපේක්ෂා කරනවා. මෙහි ප්‍රතිලාභ ජනතාවට නිවැරැදිව ලබාදීම සහ මෙය විධිමත්ව පවත්වාගෙන යාමත් ප්‍රධාන අරමුණක්. ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරන ලද විශේෂ නියෝජිත පිරිසකගේ අධීක්ෂණය මත මෙය පවත්වාගෙනයාමත් අපේක්ෂාවක්. සේවක අර්ථසාධක අරමුදල හා ණය ගන්නා ණය දෙපාර්තමේන්තුව එක තැනක තිබීම සුදුසු නොවන බව රජයේ මතයයි.

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා,

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තිය මඟින් එක්සත් ජාතික පක්ෂයේ සහ වත්මන් රජයේ ආර්ථිකය ප්‍රතිපත්තිය නිවැරැදිව පැහැදිලි වෙනවා.

එක්සත් ජාතික පක්ෂය අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ලෙස විටෙක ඇතැමුන් චෝදනා කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය කවරාකාරයේද යන්න අගමැතිවරයා ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තියෙන් මනාව පැහැදිලි වෙනවා.

ඒ වගේම මෙම මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තිය රටේ ආර්ථිකය වෙනුවෙන් පුළුල් පදනමක් ඇති කරනවා. දුප්පත් පෝසත් කවරෙකුට වුවද ඉඩමක, නිවසක අයිතිය තිබිය යුතුයි.

මෙම මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉඩම් හා නිවාස නොමැති අය වෙනුවෙන් අවධානය යොමුකර තිබෙනවා. ස්ථිර නිවසක්, ඉඩමක් නොමැතිව රජයේ අනවසර ඉඩම්වල හා කුලී නිවාසවල ජීවත්වන ලක්ෂ තිහක් පමණ මේ රටේ ඉන්නවා. ඒ අයගේ නිවාස අයිතිය මෙයින් තහවුරු වෙනවා. එය මේ රජය ගනු ලබන විප්ලවකාරී තීන්දුවක් නෙවෙයිද?

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා,

ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය ලබාදීම යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශක්තිමත් කිරීමක්. නිවාස නොමැතිව කුලී නිවාසවල ජීවත්වන මධ්‍යම පාංතිකයන්ද සිටිනවා. ඒ මධ්‍යම පංතිය වෙනුවෙන් තම නිවාස අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා නිවාස නගර ඉදිකිරීමේ වැඩසටහනක්ද රජය සැළසුම් කර තිබෙනවා. මෙම නිවාස නගර වැඩසටහන සියලු පහසුකම්වලින් සමන්විතයි. නිවාස නගර වැඩසටහන යටතේ නිවාස ලක්ෂ පහක් ඇති කිරීම රජයේ ඉලක්කයයි. ඒ වගේම අපගේ ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලබනවා.

ඒ ආයතන පාඩු ලබන මට්ටම අවම කිරීම සහ බදු ගෙවන ජනතාවට ඇතිවන පීඩනය අඩු කිරීමත් රජයේ අරමුණක්. ඒ වෙනුවෙන්ද යම් යම් පියවර රජයේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් යෝජනා කර තිබෙනවා. ඒ වගේම මේ පාඩුව හා ප්‍රාග්ධන හිඟය පියවීම සඳහා රජය උත්සාහ කරන්නේ රාජ්‍ය ආයතන විකුණා දමමින් බව කියන්නට ඇතැමුන් උත්සාහ කරනවා. නමුත් එවැනි කිසිඳු උත්සාහයක් නැහැ. රාජ්‍ය ආයතන ලාභ ලබන තැන් බවට පත්කර ඒවායෙහි ප්‍රතිලාභ මහජනයාට ලබාදීමේ අරමුණින් විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.

පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා,

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ එකක්. සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් මේ මඟින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුකරණය සඳහා කාන්තා දායකත්වය වැඩි කිරීම සම්බන්ධයෙන්ද මේ මඟින් අවධානය ‍ෙයාමුකර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය සියයට විසිපහකින් වැඩිකිරීම කෙරෙහිත් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එමෙන්ම මේ වෙනුවෙන් තම අමාත්‍යංශය යටතේ ඉදිරි වැඩ කටයුතු සිදුවෙනවා.

ඒ වගේම මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මඟින් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී වශයෙන් වූ සෑම අංශයක් වෙනුවෙන්ම විප්ලවීය ප්‍රතිසංස්කරණ රැසක් ඇතිකිරීමට යෝජනා කර තිබෙනවා.

Share on Google Plus