මාරපන කිව්වේ ඇත්තලූ - එත් ඇමතිකම නැතිවෙයි.


ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව තමා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සත්‍ය බවත්, ඒ පිළිබඳව ඇතැම් පුද්ගලයන් සහ සංවිධානයන් තමාට එරෙහිව කරන ප්‍රකාශවලට තමා කිසිසේත් බිය නොවන බවත්, නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක්‌ මාරපන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මාධ්‍යවලින් වැඩි ප්‍රචාරයක්‌ ලබා ගැනීමේ අදහසින් ඔවුන් තමා පිළිබඳව විවිධ මත ප්‍රසිද්ධ කරන අතර එම පුද්ගලයන් කවුදැයි රටේ ජනතාව හොඳ අවබෝධයෙන් සිටින බව ද හෙතෙම පැවැසීය.

තිලක්‌ මාරපන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"මට පුදුම අපේම කීපදෙනෙකුත් මෙය ඇත්තක්‌ දැයි කියා මගෙන් විමසීමයි. මෙවැනි බූරු ප්‍රශ්න පිළිබඳව තවදුරටත් කතා නොකරන ලෙස ඔවුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

ඇවන්ගාඩ් පිළිබඳව මා කළ ප්‍රකාශය සම්පූර්ණ ඇත්තයි. පිටරට කොම්පැනි 50 - 60 ක පමණ බඩු මෙම නැවේ තිබෙනවා. මෙහි තිබූ අවි ආයුධවලට ශ්‍රී ලංකා රජය මගින් බලපත්‍ර දෙන්න ඕනෑ නැහැ. ඒවාට බලපත්‍ර දෙන්නේ අදාළ වෙනත් රටවල්. ඔවුන්ගේ නැව්වල ආරක්‍ෂාව සඳහා මෙම ආයුධ රැගෙන යනවා. පසුව ඔවුන් ඒවා රිටන් කරනවා.

අපේ සමහරු මේවා මුකුත් නොදැන විවිධ කතා ගොතනවා. ඒ මගින් ඔවුන් ප්‍රසිද්ධියක්‌ ගන්න හදනවා."

කෙසේ නමුත් තිලක් මාරපන මහතා කැබිනට් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත්, කැබිනට් මණ්ඩල රැස්වීමේදීත් සහ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් නම් කියැවුණු විජයදාස රාජපක්‍ෂ සහ වජිර අබේවර්ධන මහත්වරුන්ද කැබිනට් ඇමැති ධුරවලින් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ බහුතරයක් ඇමැතිවරුන් සහ මන්ත්‍රිවරුන්ද තිලක් මාරපන, විජයදාස රාජපක්‍ෂ සහ වජිර අබේවර්ධන ඇමැති ධුරවලින් ඉවත් කළ යුතු බවට ඉල්ලීම් කරන්නට පටන් ගෙන තිබේ. ඔවුන් පවසන්නේ මේ ගැන දැඩි තීන්දුවක් නොගතහොත් එය ආණ්ඩුවට බරපතළ දේශපාලන ප්‍රශ්නයක් විය හැකි බවයි.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදයේදී තිලක් මාරපන මහතා කළ ප්‍රකාශය ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ මෙන්ම එජාප මන්ත්‍රිවරුන්ගේ විවේචනයට ලක්ව තිබෙන අතර ඔහු කළ එම ප්‍රකාශය කැබිනට් සාමාජික වගකීම උල්ලංඝනය කිරීමක් බව ඇමැති රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබිණි.

මේ අතර පසුගිය කැබිනට් රැස්වීමේදීද සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, චම්පික රණවක ඇමැතිවරු මෙන්ම නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතාද ඇවන්ගාඩ් සිද්ධියේදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටින හා සමාගමට සුදුහුනු ගාන ඇමැතිවරුන් තිදෙනාගේ ක්‍රියාකලාපයන් විවේචනයට ලක්කර තිබිණි.


Share on Google Plus