සෝභිත හිමි අපවත් කළාදැයි සැකයක්.


පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය සැක සහිත බව මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ කතා බහක් සිදු වන බව වාර්තා වෙයි.

එහි දී උන්වහන්සේගේ අභාවයට අදාළව සැකකටයුතු සිදුවීම් රාශියක් කෙරෙහි අවධානය යොමුව ඇති අතර වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරනුයේ සෝභිත හිමියන් පැවති පාලක රෙජීමය පරාජය කිරීමට තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළ මෙන්ම වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙහිලා සහ යහපාලන සමාජයක් වෙනුවෙන් වූ පොරොන්දු ජනතාවට දිනා දීමට උදාර මැදිහත් වීමක් සිදු කරන අවස්ථාවක දියත් වූ කිසියම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට දිවියෙන් සමුගන්නට සිදු වීද යන්න කෙරෙහි ය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනුයේ මීට පෙර පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ට ද අත්වූයේ මෙවැනිම ඉරණමක් බවත් උන්වහන්සේට සිදු වූ අසාධාරණය කිසිසේත්ම සෝභිත හිමියන්ට අත්වන්නට ඉඩ දීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතැබිය යුතු බවත් ය. එහෙයින් මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු විය යුතුව ඇති බව මේ පාර්ශ්වවල අදහස වී ඇත.

ඒ අනුව මෙකී පාර්ශ්ව අතර අවධාරණය වී ඇති සෝභිත හිමියන්ගේ අභාවයට අදාළ සමහර සැක සහිත සිදුවීම් අප වෙත ද වාර්තා වන අතර මේ එහි පෙළගැස්මකි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් කලක පටන් දියවැඩියාව ඇතුළු සුළු රෝග තත්ත්ව කිහිපයකින් පෙළී ඇත. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළ කරන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වරෙක කල් ගියේ එනිසා බවට එසමයේ ප‍්‍රවෘත්ති වාර්තා පළ වූවා අපට මතකය.

ඒ රෝගී තත්ත්ව වෙනුවෙන් උන්වහන්සේ ප‍්‍රතිකාර ගත් අතර ඒ බොහෝ විට කොළඹ පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහලිනි. අපට දැනගන්නට ලැබුණ ආකාරයට උන්වහන්සේගේ රෝගී තත්ත්ව පිළිබඳ එම රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය හොඳින් දැන සිට ඇත. මෙකී ප‍්‍රතිකාර ගැනීම්වලින් පසුව උන්වහන්සේට සුපුරුදු පරිදි සිවිල් සමාජ ක‍්‍රියාකාරකම් සහ ශාසනික කටයුතුවල නියැළෙන්නට අවස්ථාව ද හිමි විය.

කෙසේ වුවත් සෝභිත හිමියන්ගේ අභාවයට අදාළ සැකමුසු සිදුවීම් පිළිබඳ අවධාරණය කෙරෙන පාර්ශ්ව සඳහන් කරන ආකාරයට මෙකී අවාසනාවන්ත සමය උන්වහන්සේගේ ජීවිතයට උදා වෙන්නේ 2015 සැප්තැම්බර් මාසයේය.
ඒ මෙසේය.

ශරීරයේ පසු පෙදෙසේ ඇති වන වේදනාවක් පිළිබඳ පවසමින් උන්වහන්සේ මේ මාසයේ දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන අතර එහි දී උන්වහන්සේව භාර ගන්නේ එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාය. අනතුරුව ඔහු දෙන උපදෙස්වලට අනුව සෝභිත හිමියන් ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර මහත්මිය වෙත යොමුකර ඇත.

එහි දී සෝභිත හිමියන්ට තිබෙනුයේ ස්නායු ආබාධයක් නොවන බව තීන්දු කර වැඩිදුර ප‍්‍රතිකාර වෙනුවෙන් උන්වහන්සේව යොමුකර තිබෙනුයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත රාජ් මහතාටය. එහි දී වෛද්‍ය චමින්ද මහතා ද සෝභිත හිමියන්ව පරීක්ෂා කර ඇත.

මෙකී වෛද්‍ය පරීක්ෂාවන්ගෙන් අනතුරුව තීන්දු වන්නේ උන්වහන්සේව හදවත් සැත්කමකට ලක් කළ යුතු බවය. ඒ අනුව උන්වහන්සේ ද සෙන්ට‍්‍රල් පෞද්ගලික රෝහලට ඇතුළත් වන අතර අප වෙත දැනගන්නට ලැබෙන ආකාරයට ඒ සැප්තැම්බර් 23 හෝ ඊට ආසන්න දිනයකදීය. මෙසේ ඇතුළත් වීමෙන් අනතුරුව උන්වහන්සේට සැත්කම් දෙකක් සිදු කර ඇති බව කියවේ. ඒ බයිපාස් සැත්කමක් සහ හෘදය වස්තුවේ වම් කර්ණිකාවේ සිට වම් කෝෂිකාවට රුධිරය පරිවහනය කරන කපාටයේ අඩපණ වීමක් සැකසීම වෙනුවෙන් එම හෘද කපාටයේ සැත්කමකි.

මෙම සැත්කම් විශේෂඥ වෛද්‍ය ශාන්ත රාජ් මහතාගේ නිර්දේශ මත හෘද රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කරුණාරත්න, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ක‍්‍රිශාන්ත මෙන්ඩිස්, වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් ඇතුළු පිළිගත් වෛද්‍ය කණ්ඩායමක් සිදු කර ඇත.

අනතුරුව උන්වහන්සේ එම රෝහලින් පිටත්ව ගොස් තිබේ. මෙහි දී උන්වහන්සේගේ අභාවය පිළිබඳ සැක මතු කරන පාර්ශ්ව ප‍්‍රශ්න කොට සිටින්නේ ඒ දක්වා වූ ක‍්‍රියාවලිය තුළත් පැහැදිලි කරගත යුතු සැකමුසු තැන් ඇති බවය.

එහි දී මූලිකව ඔවුන් මතු කරන ප‍්‍රශ්න කිහිපයක්ම වෙයි. මෙතෙක් උන්වහන්සේ ප‍්‍රතිකාර ගත් නවලෝක රෝහලට ඇතුළත් නොවුණේ ඇයි? එතෙක් ප‍්‍රතිකාර ගත් සහ උන්වහන්සේගේ රෝගී තත්ත්ව පිළිබඳ හොඳින්ම දැනුවත්ව සිටි වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් දායක කර නොගත්තේ ඇයි? උන්වහන්සේව නවලෝක රෝහල වෙනුවට සෙන්ට‍්‍රල් රෝහලට ඇතුළත් කරන්නට සාධාරණ හේතු තිබෙනවාද? අනෙක් අතට උන්වහන්සේට තිබූ අනෙකුත් රෝගී තත්ත්ව සහ වයස පදනම් කරගෙන සැත්කමක් වෙනුවට අතිරේක ප‍්‍රතිකාර විධි කෙරෙහි අවධානය යොමු නොකළේ ඇයි? එසේම බරපතළ සැත්කමක් සිදු කරන්නට තිබුණා නම් මෙරටට වඩා පහසුකම් ඇති වෙනත් විදේශීය රෝහලක් වෙත උන්වහන්සේව යොමු නොකළේ ඇයි? යන ප‍්‍රශ්න එහි දී විශේෂය.

මේ පිළිබඳ මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා ද මාධ්‍ය වෙත අවධාරණයක් සිදු කර තිබු අතර එහි දී ඔහු ද විමසා තිබුණේ සැත්කමට පෙර දියුණු වෛද්‍ය ප‍්‍රතිකර්ම කෙරෙහි අවධානය යොමු කළා නම් සහ මීට වඩා සැලකිල්ලකින් මේ කෙරෙහි යොමු වූවා නම් උන්වහන්සේගේ ඉරණම මීට වඩා වෙනස් වන්නට තිබූ බවය. ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡුාව අරඹා ඇති පාර්ශ්ව එකී ප‍්‍රකාශය කෙරෙහි අවධානය යොමුකර ඇත.

එකී පාර්ශ්ව විශේෂයෙන් මතු කරන කරුණක් වනුයේ ”මහින්දගේ හිතවත් එවුන්ට හාමුදුරුවන් පෙන්නන්න එපා” යන්නය. දේශපාලන ලකුණු දාගන්නට ඇතැමුන් හිතුමතේ තීන්දු ගෙන කටයුතු කළ බවට ද අසන්නට ලැබේ.

කෙසේ හෝ වේවා මෙකී සැත්කමින් අනතුරුව පශ්චාත් සැත්කම් සමයක් තුළ උන්වහන්සේව වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තබාගත යුතු වුවත් එවැන්නක් අවශ්‍ය පරිදි සිදුව නැති බව ද වාර්තා වෙයි. එහි දී ලැබෙන එක් තොරතුරක් නම් නිසි සමයට පෙර උන්වහන්සේව රෝහලින් නිදහස් කර ඇති බවය. අනෙක නම් උන්වහන්සේ තරමක් සුවය ලබන ලද අතරතුර අනතුරුව උන්වහන්සේ සිය කැමැත්තෙන් එම රෝහලෙන් ඉවත් වී මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත් වූ බවය. ඒ විශේෂඥ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතාගේ ආරාධනයකට උන්වහන්සේ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුළත් වූ බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සෝභිත හිමියන්ගේ සුවදුක් බලන්නට ගොස් උන්වහන්සේට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කළේ ද උන්වහන්සේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වැඩ වසන සමයේය.

මේ සමය තුළ ද උන්වහන්සේගේ අභාවයට අදාළ සැකමුසු තැන් අති බව දැනගන්නට ඇත. එකී පාර්ශ්ව මෙහි දී මතු කරන කාරණා අතර නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ දී උන්වහන්සේට කළ ප‍්‍රතිකාර මොනවාද? ඒ සඳහා වෛද්‍ය නිර්දේශ නිකුත් කළේ කවුද? ආදී ලෙසින් වැදගත් කරුණු වෙයි. මෙකී කරුණු වැදගත් වනුයේ උන්වහන්සේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සමයෙන් අනතුරුව උන්වහන්සේගේ රෝගී තත්ත්වය යළිත් අයහපත් වූ නිසාය. ඔක්තෝබර් 26 හෝ ඊට ආසන්න දිනයක දී උන්වහන්සේට ද සෙන්ට‍්‍රල් පෞද්ගලික රෝහලට ඇතුළත් වන්නට සිදු වූයේ ඒ අනුවය.

එහි දී උන්වහන්සේව පරීක්ෂා කළ වෛද්‍ය මතය බවට පත්ව ඇත්තේ උන්වහන්සේ දරුණු නිව්මෝනියා තත්ත්වයකට පත්ව ඇති බවය. එහි දී වෛද්‍ය පරීක්ෂණ කටයුතු වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් වන ශිවකුමාර්, ප‍්‍රසාද් කටුලන්ද, ප‍්‍රියංකර ජයවර්ධන, උපුල් ගුණසේකර යන මහත්වරුන් සම්බන්ධ වී ඇත. නමුත් උන්වහන්සේගේ රෝගී තත්ත්වය එන්න එන්නම දරුණු වූ බැවින් වැඩිදුර වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් කරන්නට වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

උන්වහන්සේව පසුගිය 4 වනදා අලූයම සිංගප්පූරුවට රැගෙන යන්නේ ඒ අනුවය. ඒ ගිලන් වූවන් ප‍්‍රවාහනය කරන විශේෂ ගුවන් යානයකින් වන අතර එහි සෝභිත හිමියන්ව භාර ගැනීමට සිංගප්පූරුවේ සිට පැමිණි විශේෂඥ වෛද්‍ය දාස් සහ හෙදියක් ද ඊට අමතරව මෙරටින් අවසන් සමයේ උන්වහන්සේට ප‍්‍රතිකාර කළ ප‍්‍රසාද් කටුලන්ද සහ උපුල් ගුණසේකර යන වෛද්‍යවරු සිටියහ.

අප වෙත ලැබුණු තොරතුරුවලට අනුව ඒ වන විටත් උන්වහන්සේගේ එක් පෙණහල්ලක් අක‍්‍රියව තිබී ඇති අතර අනෙක ද තිබී ඇත්තේ අසාධ්‍ය තත්ත්වයකය.

නොවැම්බර් 4 වනදා උදෑසන පෙරවරු 7.30 ට පමණ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ දැඩිසත්කාර අංශයට උන්වහන්සේව ඇතුළත් කර ඇති අතර එහි දී හෘද සැත්කම් සඳහා ලොව කීර්තියක් උසුලන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශිවදාසන් ඇතුළු වකුගඩු, දියවැඩියාව, ස්නායු ආදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් උන්වහන්සේට ප‍්‍රතිකාර කරන්නට එක් වී ඇත. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් හෘද සැත්කම් සඳහා ලොව කීර්තියක් උසුලන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශිවදාසන් යනු 83 කලබල වකවානුවේ මෙරට මහ ජාතියේ අන්තවාදීන්ගෙන් දිවි ගලවා ගන්නට විදෙස්ගත වූ ශ‍්‍රී ලාංකිකයකු වන බවය. කෙසේ වුවත් උන්වහන්සේගේ ජීවිතය බේරා ගන්නට ඔවුන් දැඩි වෙහෙසක් ගත් නමුත් එය සාර්ථක නොවූ බව දැන් යථාර්ථයක්ය.

කෙසේ නමුත් එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අවසන් මොහොත වනතුරු නොසිට උන්වහන්සේව ඒ වෙත වඩම්මනු ලැබුවා නම් තත්ත්වය මීට වඩා යහපත් වන්නට තිබූ බවය.

කෙසේ හෝ වේවා මේ අයුරින් දිගින් දිගටම උන්වහන්සේ රෝගාතුර වන විට කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිතුමාව ද දැනුවත් කර ඇති අතර එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකේ කොහේ යවලා හරි කමක් නෑ හාමුදුරුවන්ව හොඳ කරගන්න කටයුතු සූදානම් කරන ලෙසය. ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් වුවත් ඒ මුදල් දැරීමට තමන් සූදානම් බවය. අගමැතිවරයා ද ඊට එකඟතාව පළකර ඇති නමුත් මෙවර උන්වහන්සේ අසාධ්‍ය තත්ත්වයට පත්වන තුරුම ඒ වෙනුවෙන් කටයුතු යෙදී නැත.

ඒ අර්ථයෙන්, කටයුතු සිදුව තිබෙනුයේ එම කරුණුවලට අනුව නම් උන්වහන්සේගේ අභාවයට හේතු වූ සැකමුසු කාරණා පිළිබඳ යළිත් පරීක්ෂණයක් ඉල්ලා සිටීම ප‍්‍රතික්ෂේප කළ නොහැක.

අප මේ පිළිබඳව විමසූ විට විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් කටුගම්පල මහතා පවසා සිටියේ ප‍්‍රතිකාරවල කිසිදු අඩුවක් සිදු නොවූ බවත් උන්වහන්සේට වැළඳුණු නිව්මෝනියා තත්ත්වය දරුණු වීම අභාවයට හේතු වූ බව ය. එසේම මෙරට වෛද්‍යවරුන්ව අවතක්සේරු කරන හා කීර්තියට හානි කරන ඔය වැනි ප‍්‍රකාශ තරයේ ප‍්‍රතික්ෂේප කරන බවය.

මේ පිළිබඳව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වන පූජ්‍ය උඩුකලකන්දේ අරියරතන හිමියන් මේ පිළිබඳ අදහස් දක්වන්නට මැළි විය. උන්වහන්සේ වදාළේ ද තමන් ඔය කතා විශ්වාස නොකරන බවය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයේ අවසන් කටයුතු කළ ජයරත්න මල් ශාලාවෙන් අප උන්වහන්සේගේ දේහය පිළිබඳ තොරතුරු විමසූ කල ඔවුන් එය කාරුණිකව ප‍්‍රතික්ෂේප කරනු ලැබිණ.

එහෙත් සෝභිත හිමියන්ට සිදු කළ සැත්කම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබූවක්ද?

‘‘සැත්කම සාර්ථකය. අතුරු ආබාධ නැත.’’ කියා සැත්කම කළ වෛද්‍යවරුන් පවසා සිටිය දී සෝභිත හිමියන්ට හදිසියේ නිව්මෝනියා තත්ත්වයක් ඇති වූයේ කෙසේද?

ද සෙන්ට‍්‍රල් රෝහලේ තිබූ සෝභිත හිමියන්ගේ ඇඳ ඉහපත් වාර්තා මේ වන විට අස්ථානගතව ඇති බවට යන ආරංචිය සත්‍යයක්ද?

හදවත් සැත්කමකින් අනතුරුව පශ්චාත් සැත්කම් සමයක් වෛද්‍ය රැකවරණය යටතේ තිබිය යුතු නමුත් උන්වහන්සේව රෝහලෙන් නිදහස් කරන්නට අනුමැතිය දුන්නේ කවුද?

ද සෙන්ට‍්‍රල් රෝහලෙන් ඉවත් කරගෙන උන්වහන්සේව මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ගෙන ගියේ ඇයි?
එම තීන්දුව සෝභිත හිමියන් ගත්තා නම් ඊට විරුද්ධ වීමට අයකු සිටියේ නැද්ද?

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ දී උන්වහන්සේට කළ ප‍්‍රතිකාර මොනවාද? ඊට මැදිහත් වූ වෛද්‍යවරුන් කවුද?
එහි දී විශේෂ ඖෂධ කිසිවක් ලබා දී තිබෙනවාද?

එහි සිටි කාලය තුළ උන්වහන්සේට ඇප උපස්ථාන කළේ කවුද? යන ප‍්‍රශ්න අප සමාජය හමුවේ ඇත.

අනෙක් අතට මෙසේ අභාවයට පත් වූයේ තවත් එක් ශ‍්‍රී ලාංකිකයකු නම් කරුමෙ තමයි කියා සුපුරුදු හීනමානයෙන් හැකිළෙන්නට කාටත් අවසර ඇත. එහෙත් මේ 87 මැයි දිනය තහනම් කර ඊට එරෙහිව නාරාහේන්පිට අභයාරාමයට එක් වූ වරදට පොලීසිය වෙඩි තබා පුද්ගල ඝාතන දෙකක් කළ මොහොතේ දී මිනිස් අයිතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් දිවි දෙවැනි කොට සභාව ඇමතූ හිමියන්ය. රටේ ප‍්‍රශ්න හමුවේ දිවි දෙවැනි කොට උන්වහන්සේ කළ එබඳු මැදිහත්වීම් ඕනෑ තරම්ය. කෙටියෙන්ම කියනවා නම් රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පොල්ල රැගෙන වැඩම කළ යුතු තැනට පොල්ල ගෙන, නවගුණවැල රැගෙන වැඩම කළ යුතු තැනට නවගුණවැල ඇතුව වැඩම කළ අපේ කාලයේ ජාතික සමගියේ සහ භික්ෂූත්වයේ ආදර්ශය ය. ඒ සියල්ලටම වඩා යහපාලන ආණ්ඩුව ගෙන ඒමට සහ පැවති රාජපක්ෂ පාලනය අවසන් කරන්නට නායකත්වය දුන් සෙන්පති හිමිනමය. උන්වහන්සේට ද සෝම හිමියන්ගේ අභාවයට අදාළ ඉරණම අත්වීමට ඉඩ දිය යුතුද? මේ සැක සංකා අවසන් කර සැබැවින්ම සිදු වූයේ කුමක්ද යන්න රටට කීම යහපාලන ආණ්ඩුවේ වගකීමය.

- සංජය ලියනගේ
SathHadha

Share on Google Plus