ඇත්තටම සෝභිත හිමිට මොකද වුණේ?


අපි එදා කෝට්ටෙ නාග විහාරෙට ගොඩ වුණේ වෙනදා විදියට සෝභිත හාමුදුරුවෝ මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් නෙවෙයි.

අපි යන වෙලාවෙ වෙනදා වගේ නාග විහාර බිම වාහනවලින් පිරිලා තිබුණෙ නෑ. උන්වහන්සේ මුණ ගැහෙන්න ආපු මහ ගොඩක් සෙනඟ අතර අපිට වෙලාවක් හොයා ගන්න බැරුව බලා ඉන්න වුණේ නෑ. අපිට උන්වහන්සෙගෙ ආවාසය ළඟට ගිහිල්ලා වෙනදා වගේ "නායක හාමුදුරුවො හම්බවෙන්නයි ආවේ..."

කියලා කියනව වෙනුවට පොඩි හාමුදුරුවෝ ඉන්නවද කියලයි අහන්න වෙලා තිබුණෙ. ඒ විදියට අපි ළඟට වැඩම කරපු පුංචි හාමුදුරු නමකගෙන් අපි සෝභිත හාමුරුදුවො ගැන විස්තර ඇහුවා.

"නායක හාමුදුරුවෝ ඉස්පිරිතාලෙනෙ මහත්තයා. අනික් හාමුදුරුවො බලන්න ගිහිල්ලා".

පොඩි හාමුදුරුවො අපිට කිව්වෙ සෝභිත හාමුදුරුවො රෝගාතුර වෙලා ඉන්න විත්තිය. අපි මේ විදියට කතා කරන අතරේ එකම එක මහත්තයෙක් ආවාසෙ තිබුණ ගිහියො ඉඳගන්න පොඩි පුටුවක වාඩි වෙලා හිටියා. ඒ මහත්මයා අපිව ඒ හැටි මායිම් නොකළට මම උත්සාහ කළා ටිකක් කතා බස් කරන්න.

"සෝභිත හාමුදුරුවො ගැන කාටත් වඩා හොඳට දන්න කෙනෙක් තමයි මම. විශ්වවිද්‍යාලෙ යන කාලේ ඉඳලමයි මම උන්නාන්සෙව ඇසුරු කරන්නෙ. අපි ඔය උන්නාන්සෙ බලන්න නොයා ඉන්නෙ උන්නාන්සෙට තියෙන ආදරේට. උන්නාන්සේ ඉන්න තත්ත්වෙ අනුව අපි බලන්න යනවා කියන්නෙ විස බීජ අරගෙන යන එක. ඒ නිසා අපි මේ පන්සලට වෙලා තොරතුරක් ආරංචියක් එනකම් බලාන ඉන්නවා..."

සෝභිත හාමුදුරුවන්ගෙ යෝධ හෙවණැල්ල යට කඩිමුඩියෙ වැඩ කෙරුණ කෝට්ටෙ නාග විහාරය අද නිහඬ තැනක් වෙලා. කවුරුත් බලාන ඉන්නෙ උන්වහන්සේ ගැන යහපත් ආරංචි එනකන්.

"මේ බෝධින්වහන්සේට අධිගෘහිත දෙවියන්ගෙ පිහිටෙන් දළදා හාමුදුරුවන්ගෙ අනුහසින් අපේ හාමුදුරුවෝ ළඟදීම වැඩම කරනවා... එතකන් ඔය විදියටවත් විවේකෙන් ඉන්න එක ලොකු දෙයක්.."

අපි නාග විහාරෙ බෝ ගහ පැත්තට ගියාමයි එතැන උන්නු උපාසක අම්මා කෙනෙක් එහෙම කිව්වෙ.

ආසාධාරණයට අයුක්තියට එරෙහිව යෝධ ශක්තියක් වෙච්ච මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො අද ගිලන් වෙලා. රට යහපිළිවෙතකට ගන්න රට දැය බේරගන්න පෙර ගමන් වැඩිය උන්වහන්සෙට ටික දවසක් ලෙඩ ඇඳක ගත කරන්න වෙලා.

"නායක හාමුදුරුවො ඉස්සරහින් වඩින්න. අපි පිටිපස්සෙන් ඉන්නවා ඕන දේකට කියලා මම උන්නාන්සෙට කිව්වා. උන්නාන්සෙ නොහිටින්ඩ මෙච්චර එකක් කොහෙ කරන්නද?".

මීට මාස හත අටකට පෙර දවසක, සාරානන්ද මහ පිරිවෙනේ සංඝාවාසයේදී මට ඔය කතාව කිව්වෙ ගිරාඹෙ ආනන්ද නායක හාමුදුරුවො. උන්වහන්සෙ ඒ විදියට කිව්වෙ සෝභිත හාමුදුරුවො ගැන, රටේ අයුක්තියට අසාධාරණයට එරෙහි උන්වහන්සේ පෙරට වැඩි විත්තියයි. එහෙම කියන්නෙ, පාට පක්‍ෂ දේශපාලනයෙන්, පුද්ගල චරිතවලට ආදරෙන් අන්ධ වෙලා උන්නු මිනිසුන්ට හරි මඟ පෙන්වීම ඒ හැටි ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ මහා කාර්යභාරය සෝභිත හාමුදුරුවන්ගෙන් සිදු වුණ වාර අනන්තයි. විවිධ අවස්ථාවල රට වැරැදි අතට ගමන් කරන අතරෙ උන්වහන්සෙ ඒවට විරුද්ධ වුණා. උන්වහන්සෙ පෙනී හිටියෙ දේශපාලන පක්‍ෂයක්වත්, දේශපාලකයෙක්වත් වෙනුවෙන් නෙවෙයි. රට දැය සමය වෙනුවෙන්."

මේ විදියට උන්වහන්සේ කරපු ජාතික කාර්යභාරය ගැන වඩාත්ම දන්න කෙනෙක් විදියට අපි ඒ ගැන කතා කළේ බුද්ධ ශාසන කටයුතු ඇමැතිතුමාගෙ ලේකම් රිචඩ් තනිප්පුලිආරච්චි මහත්තයත් එක්ක.

"ජාතික සටන්වලදී, රටේ සිද්ධ වෙන අසාධාරණකම්වලදී පෙරමුණ ගත්ත යතිවරයාණන් වහන්සෙ නමක් අපේ සෝභිත හාමුදුරුවො.

මෑතකදිම ඔය යහපාලනය සඳහා පෙරමුණ ගැනීම සිද්ධ වුණේ. ඊට කලින් ඉතිහාසය ගත්තත් උන්වහන්සෙ විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ ඉඳලම එහෙමයි. මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති වෙලා ඉඳලත් තියෙනවා. 1975 අමද්‍යප ව්‍යාපාරයෙ සභාපති වුණා. පුවත්පත් නිදහස වෙනුවෙන් පෙනී හිටිය. සුනාමි වෙලාවෙ පැරෑලියයි, තවත් ගමකුයි හැදුවා. අනුරාධපුරය දිස්ත්‍රික්කයෙ පල්ලච්චියෙ ඇලපත්ගම කියන ගමේ වැව හදන්න පන්සල හදන්න පාරක් හදන්න පවා මූලික වුණේ සෝභිත හාමුදුරුවො.

පන්සලට එන කිසිම කෙනකුට කන්න නොදී යවන්නෙ නෑ. තිබුණොත් ඕනෑම දෙයක් දෙයි. අයුක්තියෙදී විතරයි තරහක් ගියෙ. නැති බැරි අයට හරියට උදවු කළා. උන්වහන්සේට වුවමනාවක් තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවන්න. ඒ උදෙසා තමයි ඔය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටුවා ගත්තෙ.

දැන් උන්වහන්සේගෙ රෝග තත්ත්වය සුව අතට හැරිලයි තියෙන්නෙ. උන්වහන්සෙට සැත්කමක් කරලයි තියෙන්නෙ. දැනට වැඩිය වෙහෙස කරන්න හොඳ නෑ, කතා කරන්නවත් හොඳ නෑ. ඒත් හාමුදුරුවෝ එහෙම ඉන්නෙ නෑ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, විශේෂයෙන් කතානායක කරු ජයසූරිය මහත්තයා උන්වහන්සෙව බලන්න එනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එනවා. විපක්‍ෂ නායකතුමාත් එනවා. මේ අසනීප තත්ත්වෙන් ඉඳලත් උන්වහන්සෙ සමහර තනතුරු පත්කිරීම් වගේ දේවලට විරුද්ධව කතා කරනවා. සමහර දේවල් ගැන උන්වහන්සෙගෙ හිතේ පුංචි කනස්සල්ලක් තියෙනවා.

දායක කාරකාදීන් උන්වහන්සෙ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෙනමම කාමරයක් හදලා දුන්නා හාමුදුරුවන්ට. කොහොම නමුත් දැන් උන්වහන්සෙගෙ තත්ත්වය හොඳ අතට හැරෙමිනුයි තියෙන්නෙ. ඒත් ටික දවසක් විවේකයෙන් ඉන්න නම් වෙයි..."

උන්වහන්සෙ දැනට වැඩවාසය කරන සෙන්ට්‍රල් රෝහලටත් අපි ගියා.

දැනට උන්වහන්සේ ඉන්න තත්ත්වය අනුව පුංචි විස බීජයක්වත් යන්න හොඳ නෑ. ඒ වගේම සෝභිත හාමුදුරුවන්ට කතා කරලා වෙහෙසන්නත් හොඳ නෑ. ඒ නිසා අපිට උන්වහන්සෙගෙ ළඟට නොයා කවුරුන් හෝ පිටත එනතුරු බලා ඉන්න වුණා. එතකොට එළියට වැඩියෙ තවත් භික්‍ෂුන්වහන්සෙ නමක්. අපි උන්වහන්සෙත් එක්ක කතා කළා සෝභිත හාමුදුරුවො ගැන.

"මගෙ තතුවිත්ති නම ලියන්න ඕනෑ නෑ මහත්තයා. නායක හාමුදුරුවො බලන්න ආව හාමුදුරු කෙනෙක් මුණ ගැහුණා කියලා ලියන්නකො...

"දැන් නම් නායක හාමුදුරුවො සුව අතට හැරෙමිනුයි ඉන්නෙ. මමත් මේ දැන් බේත් වගයක් අරගෙනයි ආවේ. දැන් ඉතින් බොහෝම විවේකෙන් ඉන්නයි වෙන්නෙ. හැබැයි ඉතින් අපේ හාමුදුරුවන්ට පුරුදු නැතිම වැඩේ තමයි ඕක.

රැයක් දවාලක් නෑ, දානෙ ගන්නෙ නෑ, නතර නොවීම වැඩ කළා. හරියට ඔරලෝසුව වගෙයි පැය විසි හතරම එක විදියයි".

කොහොම වුණත් සෝභිත හාමුදුරුවො මේ ක්‍රමය වෙනස් කරයිද එහෙම නම් මේ රට හුඟාක් හොඳ රටක් වෙන්න වෙයි. එහෙම වෙයිද? සෝභිත හාමුදුරුවොත් රෝගාතුර වෙන්න කලින් හිටියෙ කනස්සල්ලෙන් විත්තිය අපිත් දන්නවා. සෝභිත හාමුදුරුවො පෙරමුණ අරගෙන කටයුතු කරපු සාධාරණ සමාජයක් බිහි කිරීමේ වැඩසටහන දැන් සාර්ථක වෙලාද? ජනවාරි අට විප්ලවයෙන් හැදුණු දේශපාලන ක්‍රමයට දැන් අවුරුද්දක් පිරෙන්නත් ළඟයි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මුල් පුටුවෙ හිටපු සෝභිත හාමුදුරුවො ලෙඩ වෙලා. එතකොට අනෙක් මහත්තුරු?

අපි ඊළඟට ඒ මහත්තුරු එක්ක කතා කළා. ඒ මහත්වරු කියපු දේවල් මෙහි පළවෙනවා. ඒ හැම කෙනාගෙම අදහස්වල තියෙන්නෙ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයෙ අරමුණු තාම ඉටුවෙලා නැහැ කියලයි.


-ජීවන පහන් තිළිණ

Share on Google Plus