මහින්දගෙන් සහතිකයක්.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති ශ‍්‍රීලනිප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහතික වී ඇත.

සිය ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර නොච්චියාගම, සමන් කන්ඩම්බි මහතාට අයත් සමනල රෙස්ටුරන්ට්හි පසුගිය 18 වන දින පැවැති දිවා භෝජන සංග‍්‍රහය අතරතුර දී රාජපක්ෂ මහතා මෙසේ පවසා ඇත.

නොච්චියාගම පැවැති උත්සවයේ දී මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි අය අමතා විපක්ෂයට සම්බන්ධ වී වෙනම සන්ධාන පෙරමුණු හදාගෙන ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට තමන් හවුල් නොවන බවත් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ‍්‍රීලනිපය ඉදිරිපත් විය යුතු බවත් තමන් ඒ සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් පැවසූ බව රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට මහතා පවසයි.

රාජපක්ෂ මහතාට පක්ෂපාත කොටස් ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කළත් මැතිවරණයක දී ශ‍්‍රීලනිපයට සහාය වීම තමන්ගේ අපේක්ෂාව යැයි ඔහු පැවසූ බව ද රොහාන් වැලිවිට මහතා පැවසීය.

රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එදින උදෑසන කොළඹ, අභයාරාමයේ පැවති උත්සවය සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී සිටි නමුදු නොච්චියාගම උත්සවය සඳහා සහභාගී වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු සඳහා සම්බන්ධ කර නොගත යුතු බවට දැඩි මතයක් ද එම කණ්ඩායම තුළ පවතී.

කෙසේ නමුත් අප වෙත වාර්තා වන තොරතුරු අනුව මහින්දවාදී පිරිස් මේ වන විට ඒකාබද්ධ විපක්ෂ සන්ධානය පුළුල්ව ගොඩනැගීමෙහි යෙදී සිටී. මෙහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඔහුගේ මතය වී ඇත්තේ ද එහි දී ශ‍්‍රීලනිපය දෙකඩ විය යුතු නැති බවය. එහෙත් පසුගිය මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ පක්ෂවලට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා නොදෙන්නේ නම් වෙනම සන්ධානයක් ලෙස තරග කළ යුතු ස්ථාවරයක ඔහු සිටින බව වාර්තා වේ.

මේ අතර ශ‍්‍රීලනිපයේ ප‍්‍රාදේශීය නායකයන් බහුතරයකගේ අදහස වී තිබෙන්නේ ද ඒකාබද්ධ විපක්ෂය ලෙස වෙනම සන්ධානයකින් ඉදිරිපත් වී ජයග‍්‍රහණය කර ඉන් පසුව ශ‍්‍රීලනිපයේ නායකත්වයට අභියෝග කළ යුතු බවය. ජනාධිපතිවරයා සන්ධානයේ සිටින සියලූ පක්ෂවල නියෝජිතයන්ට මෙවර ද නාම යෝජනා ලබා දෙන බව පැවසුව ද ජයග‍්‍රහණයෙන් පසුව ඔහුට හිතවත් පිරිස්වලට තනතුරු ලබා දීම සිදු විය හැකි බව ද මෙම ප‍්‍රාදේශීය නායකයන් පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබිය යුතු නොවන බව ඔවුන් බහුතරයක් පවසන අතර ඊට ප‍්‍රතිවිරුද්ධ මතයක් දරන පිරිස් පෙන්වා දෙන්නේ වෙනම තරග කළ යුතුව තිබුණේ පසුගිය
මහ මැතිවරණයේ දී බවය. මෙවර වෙනම තරග කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් යෑමේ ඉඩක් තිබෙන නිසා එබඳු තත්ත්වයක් ඇති වුවහොත් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය එතැනින් අවසන් වනු ඇති බවත් එම පිරිස් පෙන්වා දෙති. මේ නිසා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් තීරණයක් ගත නොහැකිව සිටී.

ඒ කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම ඉලක්ක කරගෙන නව ව්‍යාපාර 2ක් මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී.

මින් පළමු වැන්න ‘වියතුන්ගේ හඬ’ නමැති සංවිධානය යි. මෙය ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය (Think tank) ලෙස කටයුතු කරයි. පසුගිය දා ජිනීවා අර්බුදය සම්බන්ධයෙන් එම පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද මෙම පිරිස විසින් පැවැත්වූ අතර අයවැය ගැන ද වැඩමුළුවක් පැවැත් වීමට සූදානම් කර ඇත.

මෙම සංවිධානයේ සභාපතිවරයා වන්නේ මහාචාර්ය විමලධර්ම අබේවික‍්‍රම මහතාය. ලේකම්වරයා ලෙස නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා කටයුතු කරයි. උප සභාපතිවරු ලෙස ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ජනිත ලියනගේ කටයුතු කරන අතර භාණ්ඩාගාරිකවරයා ලෙස ජාතික හෙළ උරුමයේ සාමාජිකාවක වූ ව්‍යාපාරිකා අනුරාධා යහම්පත් මහත්මිය මෙයට සම්බන්ධව සිටී. මෙහි උපදේශකවරුන් ලෙස: රසික් සරූක්, මහාචාර්ය ගාමිධෑ සමරනායක, මහාචාර්ය ක්ෂණිකා හිඹුරේගම, මහාචාර්ය ජී.එල්.පීරිස්, මහාචාර්ය රජීව් විජේසිංහ හා ආචාර්ය දයාන් ජයතිලක යන අය කටයුතු කරති. මෙහි භාරකාර අනුශාසක ලෙස මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි කටයුතු කරයි.

මෙම සංවිධානයේ මූල්‍යමය අනුග‍්‍රාහකත්වය හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරු ශ‍්‍රීමාල් වික‍්‍රමසිංහ මහතා විසින් සපයනු ලබයි.

මෙම සංවිධානය මේ වන විටත් යාපනයේ ද ශාඛාවක් පිහිටුවා ඇති අතර එය මහාචාර්ය මොහාන්දාස් මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇත. පසුගිය කාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ඈත් වූ සුළු ජාතිකයන්, සිවිල් සමාජ කොටස් බුද්ධිමතුන් යළි රාජපක්ෂ මහතා වෙත දිනා ගැනීම මෙම සංවිධානයේ මූලික අරමුණ වී තිබේ.

එම සංවිධානය එසේ කටයුතු කරද්ද්දී සිංහල බෞද්ධයන් තවදුරටත් රාජපක්ෂ මහතා වෙත ඇද බැඳ තබා ගැනීම සඳහා ‘යුතුකම සංවාද කවය’ නම් ජාතිකවා දී සංවිධානයක් ද ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවනු ලැබ තිබේ. මෙහි මූලිකත්වය ගෙන තිබෙන්නේ ගෙවිඳු
කුමාරතුංග මහතාය. මෙයට නීතිඥ මනෝහර, කුමාර ලියනගේ, ඉසුරු ප‍්‍රසංග ආදී පසුගිය කාලයේ සිංහල බෞද්ධ මතවාදයන් පෝෂණය කිරීම සඳහා කටයුතු කළ පිරිසක් සම්බන්ධව සිටිති.

ඒකාබද්ධ විපක්ෂය හා මෙම සංවිධාන අතර සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාය.

- සුභාෂ් ජයවර්ධන
සත්හඩ

Share on Google Plus