Navy කප්පම් කල්ලියට ඕඩර් දුන්නේ මහිපාල?


පාසල් සිසුන් හා දෙමළ තරුණයන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන පරීක්ෂණවල දී කෑගලු දිස්ත්‍රීක්කයේ තරුණයෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමට උපදෙස් දී ඇත්තේ සබරගමු මහ ඇමති මහිපාල හේරත් මහතා බවට රහස් පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

ඔහුගේ උපදෙස් මත එම නාවික හමුදා ඒකකය කටයුතු කර ඇති බව හෙළිව තිබේ. 

එමෙන්ම මේ වන විට පෝරකයට නියමවී සිටින හිටපු පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ද එම කණ්ඩායමට සම්බන්ධව තිබෙන බව අනාවරණය වී තිබේ.

මෙලෙස පැහැර ගත් කෑගල්ලේ සිංහල ජාතික තරුණයා වෙනුවෙන් අදාළ කප්පම් මුදල ගෙවීමට අසමත් වීම නිසා මරා දැමීම සිදු කර ඇති බවට සැක කෙරේ. මෙම සිංහල තරුණයාද අනෙකුත් සිසුන් සමග ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රහස් වදකාගාරයේ රඳවා ගෙන සිට පසුව ඝාතනය කර ඇත.

පසුගිය දා එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් විසින් මේ වධ කඳවුර නිරීක්ෂණය කර තිබිණි. 

පැහැරගත් කාර් රථයක් වැලිසර නාවික කඳවුරේ !

මේ අතර සිසුන් පැහැරගෙන යාමට අදාළව තවත් මෝටර් රථයක් වැලිසර නාවික හමුදා කඳවුරේ තිබෙන බව ද දැන ගැනීමට ඇත. පසුගිය සතියේ දී ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබී වැගන් වර්ගයේ වාහනයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ පවත්වන්නේ පොලීසියට ලැබී තිබෙන පැමිණිලි 11ක් සම්බන්ධයෙන් පමණි.

 එහෙත් මෙම නාවික හමුදා කණ්ඩායම තරුණයන් 28 දෙනකු පැහැර ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර කප්පම් මුදල් ලබා දුන් කිහිප දෙනකු පමණක් නිදහස් වී ආපසු පැමිණ තිබේ. 

කෙසේ නමුත් මේ තොරතුරු හෙළි වූයේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ පෞද්ගලික සහකාර සම්පත් මුණසිංහ නම් නිලධාරියා සතුව මෙලෙස පැහැර ගැනීමට ලක් කළ තරුණයන්ගේ ජාතික හැඳුනුම්පත් රැසක් හමුවීමෙන් පසුවය.

-LNW

Share on Google Plus