යහපාලන ආණ්ඩුවේ අවසානය අද.


මෛත්‍රි - රනිල් හවුල් පාලන ස්වර්ණමය යුගයේ අවසන් දවස ඊයේ (19දා) දිනයෙන් නිමාවට පත්වූ බවත්, අය-වැය විවාදය අරඹන අද (20දා) සිට යහපාලනයේ අඳුරු කාලය හෙවත් අවසානය පටන් ගන්නා බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

සැබෑ ජනවරම තේරුම් නොගත් යහපාලන අය-වැය රාජ්‍ය සේවකයාට, කම්කරුවාට, ධීවරයාට, ගොවියාට හෝ කිසිවකුට සෙතක් නොවෙතත් මේ දෙස සියල්ලෝම බලා සිටින බවත්, ඔවුන්ගේ ඉල්ලීම් කනකට නොගන්නා මේ පාලනයට ඇත්තේ කෙටි ආයු කාලයක් බවත් ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු හදා රට පාලනය කළත්, මෛත්‍රිපාල සිරිසේන මහතාට ආණ්ඩුවක් හදා ඉදිරියට යා නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා මේ කෙටි කාලයේදී සිරිසේන ජනාධිපතිවරයා රට ඉදිරියේ එය මනාව ඔප්පු කර ඇති බවත් පැවැසුවේය.

අගමැති වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ පස් වතාවම එකතු කළත් එක් අගමැති ධුර කාලයක් හෝ සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ පුද්ගලයෙක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. අරමුදලට අගමැතිට හෝ කිසිවකුට අත තැබීමට ඉඩ නොතබන බවත්, මේ හවුල් පාලනයට විරුද්ධව අදින් පසු ඉතිහාසයේ නොවූ ආකාරයට ජන පෙළ ගැස්මක් සිදුවනු ඇති බවත් ඒ මහතා පැවැසුවේ ඊයේ (19දා) සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ සමුළුව අමතමිනි.

Share on Google Plus