කෙහෙළියට වරෙන්තුව භාර දුන් පොලිස් ස්ථානය 'දන්නේ නෑ'


හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය පසුගියදා නිකුත් කළ වරෙන්තුව කවර පොලිස් ස්ථානයකට භාරදුන්නේ දැයි කරුණු වාර්තා වී නොමැති බව පොලිස් ප්‍රකාශකවරයා පවසයි.

ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන්වීම සම්බන්ධ පෙත්සම් විභාගය සම්බන්ධයෙන් පිට පිට තුන් වතාවක්ම අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා මෙන් පසුගිය නොවැම්බර් 13 වැනි දින යාපන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

අධිකරණ නියෝගය ප්‍රකාර මන්ත්‍රීවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පිළිගන්නා පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශයට කියා සිටියේ අදාල නඩුව පෞද්ගලික පාර්ශවයක් විසින් පවරන ලද්දක් බැවින් ඒ පිළිබඳව පොලිසියට වැඩිදුර තොරතුරු ලැබී නැති බවයි.

පොලිසිය මගින් අධිකරණ නියෝගය පැහැර හැරීමක් මෙහිදී සිදු වී නැති බව අවධාරණය කරන සහකාර පොලිස් අධිකාරීවරයා, අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණය විසින් කාල වකවානුවක් ලබා දී තිබිය හැකි බව පෙන්වා දුන්නේය.


ලලිත් - කූගන්

"ඒ දිනයේදී යම් පොලිස් නිලධාරියෙකුටද වරෙන්තුව ලබාදුන්නේ ඒ පොලිස් නිලධාරියා විසින් අධිකරණයට වරෙන්තුව සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගය පිළිබඳව වාර්තාවක් සැපයීම අවශ්‍ය වෙනව."

2011 දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යාපනයේදී පැහැර ගනු ලැබුණු අතර ඔවුහු මෙතෙක් අතුරුදහන්ව සිටිති.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවන බව එවකට කැබිනට් ප්‍රකාශකවරයා වූ රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මේ පිළිබඳව විමසීම පිණිස කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.


- BBC-

Share on Google Plus