අපි සුදුවෑන්වලින් ඉස්සුවා තමයි... ඒකේ ඇති වැරැද්ද මොකක්ද?


පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සුදු වෑන් යොදා ගනිමින් සිදු කළ පුද්ගලයින් පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් සහ ඝාතන සිදු කළේ හමුදා බුද්ධි අංශ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

නොවැම්බර් 08 දින ඉරිදා ලංකාදීප පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

එහිදී සුදු වෑන් යොදා ගනිමින් සිදු කළ පැහැරගැනීම්  පිළිබඳ විමසු පැනයකට රාජපක්ෂ මහතා "බුද්ධි අංශ පිරිස් ක්‍රියාත්මක වීම ගැනනේ" යැයි විමසා ඇති අතර පසුව විමසා ඇත්තේ 88/89 භීෂණ සමයේ පැහැරගෙන යාම් සිදු කළේ කළු වෑන් යොදා ගෙනද? යනුවෙනි.

එසේම තමා ආරක්ෂක ලේකම් සමයේ සුදුවෑන් යොදාගෙන පැහැරගෙන ගියේ අපරාධ කරුවන් බවද ඔහු පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බව දේශපාලන විචාරකයින් පවසයි. මෙම පැහැරගැනීම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මතුකරන ප්‍රධාන චෝදනාවක් වන අතර ඉදිරියේදී ඒ පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණවලදී මෙම ප්‍රකාශයද යොදා ගනු ඇතැයි ඔවූහු පෙන්වා දෙති.

මාධ්‍යවේදියා නැගූ පැනය සහ ගෝඨාභය එයට ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය :- දැන් මිනිස්සු කියන්නේ මොකක් වුනත් රාජපක්ෂලාගේ කාලේ වගේ සුදු වෑන් ගැන බයක් දැන් නෑනේ කියලා...

පිළිතුර :- ඕකත් දේශපාලන වාසියට එක එක්කෙනා හදාගත්තු කතාවක්. දැන් ඔය සුදු වෑන් අර වෑන් මේ වෑන් කියලා කියන්නේ එල්.ටී.ටී.ඊ. එකේ අය හෝ දාමරිකයින් අල්ලන්න, පාතාලයේ අය අල්ලන්න බුද්ධි අංශ පිරිස් ක්‍රියාත්මක වීම ගැනනේ. මීට ඉස්සෙල්ලා බුද්ධි අංශ ඔය වගේ දේවල් කරලා නැද්ද? ජේ.වීපී. කාලේ තරුණ තරුණියෝ කළු වෑන්වලද එතකොට? මේවා දැන් කාටත් අමතකයි. කාට හරි මඩ ගහන්න ඕනෑ වුණාම මොකක් හිරි පදනමක් නැති කතාවක් ගොතනවා. මේත හරිම සවුත්තු වැඩක්. අපිට තියෙන්නේ සියල්ල යහපත් සාධාරණ සමාජයක් නෙවෙයි. හැම කාලෙම වැරදි වැඩ කෙරෙනවා.

Share on Google Plus