අයවැයෙන් අඩු කළ වාහන තවමත් පරීක්ෂණ මට්ටමේ.


පරිසර හිතකාමී වාහන ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීම තරමක් අසීරු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සම්පත් මෙරින්චිගේ මහතා සඳහන් කළේ මුළුමනින්ම හයිඩ‍්‍රජන් හෝ හීලියම් මගින් ක‍්‍රියාත්මක කෙරෙන වාහන ධාවනය කිරීම සඳහා යටිතල පහසුකම් ඉතා දියුණු මට්ටමක පැවතිය යුතු බවයි.

රටේ පිරිසිදු පරිසරය වැඩිදියුණු කිරීම සඳහා අවම දහනයකින් යුත් පරිසර හිතකාමී වාහන භාවිත කිරීම ධෛර්යමත් කිරීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර තිබුණා.

ඒ සදහා මුළුමනින්ම සූර්ය තාපයෙන්, හයිඩ‍්‍රජන් හෝ හීලියම් මගින් ක‍්‍රියාත්මක වන වාහන සඳහා නිෂ්පාදන බද්ද සියයට 2.5 දක්වා අඩු කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කලේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්ජිගේ මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එවැනි වාහන ශ‍්‍රී ලංකාව තුළ භාවිත කිරීමට සැලකිය යුතු කාළයක් ගත වනු ඇති බවයි. 


හයිඩ‍්‍රජන් මගින් ක‍්‍රියාත්මක කෙරෙන වාහන තවදුරටත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි සම්පත් මෙරින්චිගේ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 


කෙසේ වෙතත් මෙරට පාරිභෝගිකයන් තුළ ව්‍යාප්ත වෙමින් පවතින විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම නතර කෙරෙනු ඇතැයිද ඒ මහතා කියා සිටියා. 


Share on Google Plus