අධිකරණ වාර්තා අස්ථානගත කළ අධිකරණ ඇමති වරයා කවුද?


මේ රටේ විශේෂ බලයක් ලබාගෙන සිටින ශිෂ්ට පුද්ගලයන් සිදු කරන ක්‍රියාවන් නිසා අධිකරණයත් නීතිඥ වරුනුත් සියලු දෙනාමත් අපහසුතාවට පත්වෙනවා යැයි රත්නපුර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා ඊයේ (24) විවෘත අධිකරණයේදී පැවැසුවේය.

විනිසුරුවරයා එසේ පැවැසුවේ අධිකරණ අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා විසින්, කියවා බැලීම සඳහා 2008 වසරේදී ගෙන්වාගත් රත්නපුර මහාධිකරණයේ 87/2000 අංකය දරන, තීන්දුව ප්‍රකාශ කර තිබූ අපරාධ නඩුව නැවත අධිකරණයට ආපසු නොඑවීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා අධිකරණය හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වූ නාලන්ද එල්ලාවල මහතා 1997/02/12 වෙනිදා ඝාතනය වීමෙන් දිනකට පසු රත්නපුර ශ්‍රී පලා බද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසකට ගිනි තබා දේපළවලට හානි කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ‍පොලීසිය සැකපිට පුද්ගලයන් 09 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිය. නීතිපතිවරයා විසින් ඒ අයට එරෙහිව චෝදනා 04ක් මත නඩු පවරනු ලැබිය. එයින් චෝදනා දෙකකට වරදකරුවන් වූ ඔවුන්ට 2008/07/27 දින එවකට රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා වූ අනෝමා විජේවර්ධන මහත්මිය විසින් වසර 06ක සිරදඬුවමක් සහ රුපියල් 5000 බැගින් වූ දඩයක් ගෙවන ලෙස නියම කළාය.

පසුව ඔවුන් 09 දෙනා අභියාචනයක් ඉදිරිපත් කළ අතර 2008/07/31 ඇප මත මුදාහරිනු ලැබිය. අතුරුදන්ව ඇත්තේ ඊට අදාළ ගොනුවය.

උක්ත කාරණය සඳහා කරුණු දැක්වීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා වෙනුවට අධිකරණය හමුවේ පෙනී සිටියේ එම අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සහකාර ‍ලේකම් (නීති) වරියකි.

නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය අධිකරණය හමුවේ කරණු දක්වමින් මෙම නඩුව කැඳවා ඇත්තේ මෙම අධිකරණයේ තිබි අධිකරණ අමාත්‍යාංශයට ගෙන්වාගත් නඩුගොනුවක් නැවත භාරනොදීම සහ එම නඩුගොනුව නැති බවට ප්‍රකාශ වීම සහ එසේ වීමට හේතු දැක්වීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ‍ලේකම් ගෙන්වා ගැනීම සඳහා බව පැවසුවාය.

එහෙත් එම නඩුගොනුව නැතිවී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් එල්/සී/18/8 දරන අංකය යටතේ අධිකරණ  අමාත්‍යංශය මගින් විමර්ශනයක් අරඹා ඇති බවත් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයේ මූලික වාර්තාවක් අද දිනයේ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක ‍ලේකම්වරියක අධිකරණය හමුවට පැමිණ සිටින බවත් රජයේ අධිනීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය.

අතිරේක ‍ලේකම්වරිය (අධිකරණ අමාත්‍යාංශය)

දැනට අධිකරණ අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ‍ලේඛනාගාරයේ මෙම මුල් නඩු ගොනුව සොයා බැලුවත් හමුවුණේ නැහැ.

විනිසුරුවරයා

මීට පෙර නඩුගොනු කීයක් ‍ලේඛනාගාරයෙන් නැතිවී තිබෙනවාද?

අතිරේක ‍ලේකම්වරිය

කලින් එහෙම වෙලා නැහැ

විනිසුරුවරයා

එහෙනම් මේක විශේෂ අවස්ථාවක්?

අතිරේක ‍ලේකම්වරිය

විශේෂ අවස්ථාවක්.

නීතිඥ නිරෝෂ් නින්දවත්ත මහතා (අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී)

ස්වාමීනි, 1958 අංක 09 දරන පනත යටතේ අමාත්‍යවරයාට යම් නඩුගොනුවක් අවශ්‍යනම් එය අධිකරණ අමාත්‍යාංශයේ ස්ථිර ‍ලේකම්වරයා මගින් ඉල්ලීමක් කළ යුතුයි. එම පනතේ 3 (3) උපවගන්තිය අනුව නඩු ‍පොතේ සඳහන් දිනට පෙර නඩු ‍පොත නැවත ලබාගෙන අදාළ අධිකරණයට ලබාදීමේ පරම වගකීම ඇත්තේ ‍ලේකම්වරයාටයි.

මෙම නඩුගොනුවට අදාළ වී ඇත්තේ අපරාධ නඩුවක්, එහි දේශපාලන පසුබිමක් තිබුණා. ගෙයක්  ගිනි තබා දේපළවලට අනර්ථය කිරීමක්. නඩු තීන්දුවට අනුව විත්තිකරුවන් 09 දෙනාමට සිර දඬුවම් නියම වුණා. අගතියට පත් පාර්ශ්වයන්ට විශාල වශයෙන් වන්දි නියම වුණා. නමුත් ඔවුන්ට එම වන්දිය තවමත් ලැබි නැහැ. දඬුවම් ක්‍රියාත්මක වී නැහැ. මේ වන විට එම නඩු වාර්තාව සොයා ගැනීමට හැකියාවක් නැහැ.

මෙම චූදිතයන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් නිදැල්‍ලේ ඉන්නවා. ඔවුන්ට පනවා ඇති ඇප කොන්දේසිවලට අනුව ‍පොලීසියට වාර්තා නොකරන බවට උපදෙස් ලැබෙනවා. මෙම බරපතළ අගතිදායක ක්‍රියාවට ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමක් ඇත්ද යන්න ගැන බරපතළ සැකයක් පවතිනවා. ස්වාමීනි.

විනිසුරුවරයා -

මෙම නඩු ගොනුව නැතිවෙලා නම් එය විශේෂ අවස්ථාවක්. එසේ නම් එය කර ඇත්තේ විශේෂ බලයක් ලබාගත් අශිෂ්ට මිනිසෙකු විසින් ඔවුන් තමන්ගේ බලය බත අධිකරණයක්, නීතිඥයන් සෑම දෙනාමත් අනාරක්ෂිත කරනවා. සාමාන්‍ය මිනිසා කවදාවත් අධිකරණය අපහසු තාවකට පත්කරන්නේ නැහැ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලදී එසේම විත්තිකරුවන් ඇප කොන්දේසි  කඩකර ඇත්ද යන්න සම්බන්ධයෙන් රත්නපුර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයාගෙන් වාර්තාවක් කැඳවීමටද නියෝග කළ විනිසුරුවරයා 87/2000 නඩු ගොනුව සම්බන්ධයෙන් දැනට කරගෙන යන විමර්ශන වාර්තාවක් හෝ නැතිවූ නඩු ගොනුව වහාම අධිකරණයට එවිය යුතු බවට විනිසුරුවරයා අධිකරණ අමාත්‍යාංශයේ බලධාරීන්ට නියෝග කළ අතර එසේ නොහැකි නම් ඔවුන්ට එරෙහිව පියවර නොගැනීමට හේතු දැනුම් දෙන ලෙසටද නියෝග කළේය. නඩුව දෙසැම්බර් මස 08 වන දින තෙක් කල් තැබිණි.

උපුටාගැනීම ලක්බිම

Share on Google Plus