චන්ද්‍රිකා, ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය කරයි.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ගම් මට්‌ටමේ ශාඛා සංවිධාන ඇතුළු පක්‍ෂයේ ප්‍රති සංවිධාන කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇත. මේ අනුව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරියක වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවිධාන කමිටුවක්‌ද පත් කර ඇත.

මෙම ප්‍රතිසංවිධාන කමිටුව මේ වන විට අවස්‌ථා කීපයකදී රැස්‌වී ඇතත් ඊට නම් කර ඇති 20 දෙනෙකු වන සාමාජික පිරිසෙන් ඇතැම් අය කමිටු රැස්‌වීමට සහභාගි නොවීම ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට ගැටලුවක්‌ වී ඇති බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ කීවේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගම් මට්‌ටමේ සිදුකර පළාත් පාලන ආයතන ශ්‍රීලනිපයට දිනා ගැනීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු බව පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස්‌ දී ඇති බවද ශ්‍රීලනිප පක්‍ෂ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ගම් මට්‌ටමේ ප්‍රතිසංවිධාන කටයුතු මේ මස මැදදී ආරම්භ කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus