ජනපති මෛත්‍රීට එරෙහිව ශ්‍රීලනිප මහින්ද පිලෙන් අල්ලස්‌ චෝදනාවක්‌


මෛත්‍රී ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සුසැදි රනිල්ගේ යහපාලන ආණ්‌ඩුවට මෙවර අයවැය ජයග්‍රහණය කිරීම ඒ තරම් ප්‍රශ්නයක්‌ වන්නේ නැත. මන්ද· පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන ඡන්ද 113 ක්‌ එජාපය, ජවිපෙය හා දෙමළ සන්ධානය යන පක්‍ෂ එක්‌වීම තුළින්ම ඔවුන්ට සපුරාගත හැකි නිසාය. නමුත් ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌ථාවරය ගැන එජාපයේ සමහර නායකයන්ට ද ප්‍රශ්න තිබිණි. එම නිසා ගණන් මිනුම් ගැනීමේදී ජවිපෙ ගැන විශ්වාසය තබනවාට වඩා මෛත්‍රී සමඟ සිටින ශ්‍රීලනිපයේ මහින්දවාදීන් නොවන පිරිස කෙරේ විශ්වාසය තැබීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ මතය වූහ.

මේ අතරතුර මෙවර අයවැය වැඩි බහුතරයකින් දිනවා දී රජයේ කටයුතු ගැටලුවකින් තොරව ඉදිරියට ගෙනයැමේ අභියෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුළ ද තිබිණි. ඔහුට අවශ්‍ය වූයේ ශ්‍රීලනිපයේ විශ්වාසය අයවැය කෙරෙහි යොමුකරවීම ඉතාම ඉහළින්ම කරදීමටය. මේ සඳහා ජනාධිපතිවරයා වෙහෙසන අයුරු පසුගිය දිනවල අපට දැකගත හැකි විය.

අයවැය සම්බන්ධයෙන් ශ්‍රීලනිප විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගන්නට පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්විණි. සන්ධානයේ විපක්‍ෂ මන්ත්‍රීවරු සහභාගි වූ මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණි.

මෙහිදී සභාව අමතා මුලින්ම කතා කළේ ජනාධිපතිවරයාය. 

දැන් තියෙන්නේ අපි හැමෝම නියෝජනය කරන ජාතික ආණ්‌ඩුවක්‌ මේක. අපේ ජාතික ආණ්‌ඩුවේ අයවැය. ඒක නිසා අපි හැමෝම මේ අයවැයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන්න ඕන. මම කාටවත් මේක කරන්නට කියලා බලකරන්නේ නැහැ. ඒත් ඒක අපේ වගකීම යනුවෙන් පැවසූ මෛත්‍රී තවදුරටත් ඒ ගැන වැඩිදුර විස්‌තර කියන්නට පටන් ගත්තේය.

අපි නම් සර්... මේ අයවැයට විරුද්ධයි. අපට මේකට එකඟ වෙන්න බෑ... කුමාර වෙල්ගම කීවේය.

ජනාධිපතිවරයා වෙල්ගම දෙස තරමක්‌ නොරුස්‌සනා බැල්මක්‌ හෙළමින් කලබල නොවී කතා කළේය.

හරි... ඔයාලා කැමැත්තක්‌ කරන්න. මම කාටවත් බලකරන්නේ නැහැ. නමුත් ආණ්‌ඩුව මන්ත්‍රීරුන්ගේ ආසනවල වැඩ කරන්න. එක ග්‍රාමසේවා වසමකට රුපියල් ලක්‍ෂ 1500 බැගින් ලබා දෙන්න තීරණය කරල තියෙනවා. ඒවා දිය හැක්‌කේ අපට සහය දෙන මන්ත්‍රීවරුන්ට විතරයි. අනිත් එක එහෙම සහයෝගය දෙන මන්ත්‍රීවරුන්ට රජයෙන් ඉන්ධන සහිත වාහනයක්‌, රියෑදුරෙක්‌ ලබාදෙන්නත් මම යෝජනා කරල තියෙනවා. ඒ හැම දෙයක්‌ම ලැබෙන්නේ සහය දෙන අයට විතරයි.

මේක මහ දූෂිත අයවැයක්‌. අඩුපාඩු හුඟක්‌ තියෙනවා. අපිට මේකට එකඟ වෙන්න බෑ. අපිට ඔබතුමා එක්‌ක මේ ගැන කතා කරන්න වෙලාවක්‌ ඕන. වෙල්ගම නැවතත් කීවේය. ඒ වගේම අපිට ඔය දෙනවා කියන මොකවත්ම ඕන නෑ. අපි විපක්‍ෂයේ ඉන්නම්.

නිමල් සිsරිපාලයි, එස්‌. බී.යි, අමුණුගමයි මම පත්කරන්නම්. මම වෙනුවෙන් ඔයාලත් එක්‌ක මේ ගැන කතා කරන්න. මම මෝල්ටාවේ යන නිසා... මෛත්‍රී කීවේය.

අපිට ඔය එක එක්‌කෙනා එක්‌ක කතා කරන්න බෑ. ඔබතුමා රට යන්න කලින් අපට වෙලාවක්‌ දෙන්න.... වෙල්ගම කීවේය.

හරි... එහෙම නම් හෙට උදේ 11.00 ට ජනාධිපති නිල නිවසට එන්න. අපි කතා කරමු... මෛත්‍රී කීවේය.

මේ අනුව විපක්‍ෂයේ සටන්කාමී මන්ත්‍රීවරු පිරිස විසිර ගියේ යළි පහුවදා උදේ ජනාධිපතිවරයා හා හමුවී කතාබහ කරන අදහස ඇතිවය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අතරතුර මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ යෝජනාව ගැන නැවත නැවතත් කතා කරන්නට වූහ. සමහරුන්ගේ අදහස සටන්කාමී වූහ. ජනාධිපතිවරයා ඇඟට පතට නොදැනී තමන්ට වාහන අල්ලසක්‌ දෙන්නට යෝජනා කිරීම පුදුම සහගත බව ඔවුහු කීහ.

නැහැ... ජනාධිපතිතුමාට අපටත් යමක්‌ ලබාදෙන්න අවශ්‍යයි. එතුමා ඒක කීවේ අල්ලසක්‌ විදියට නොවෙයි. අපට කරන සැලකිල්ලක්‌ හැටියටයි. ඒත් අපි කොහොමද මේ වංචාකාරී අයවැයට සහය වෙන්නේ... මන්ත්‍රීවරු කීහ.

ඔන්න බලන්න... අර පරීක්‍ෂණයටයි මේ පරීක්‍ෂණයටයි කිය කිය අපට නේ දැන් පරීක්‍ෂණ කොමිටිවලටයි අල්ලස්‌ කොමිසමටයි වගඋත්තර බඳින්න වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න අපටත් පුළුවන් කෙනකුට විරුද්ධව අල්ලස්‌ කොමිසමට යන්න මන්ත්‍රීවරයෙක්‌ කියද්දී හැමෝම හිනා වෙවී ඒ දෙස බැලුවේ ඔහු කී දේ එකෙනෙහිම සැමට වැටහී ගිය නිසාය.


-බුලිත ප්‍රදීප් කුමාර
Divaina



Share on Google Plus