ඇවන්ගාඩ් - වජිර යාළුකම ගැන, බිමල්ගෙන් තවත් හෙළිදරව්වක්.


ඇවන්ගාඩ් දූෂණවලට සම්බන්ධ වූවන්ට උදවු කරමින්, ඒවාට රාජ්‍ය ආරක්ෂාව සපයමින් කටයුතු කළ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක් මේ වන විට වජිර අබේවර්ධන මහතා අමාත්‍ය ධුරය දරන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඇවන්ගාඩ් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ වී ඇවන්ගාඩ් සභාපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කිරීම සම්බන්ධයෙන් එවකට එම අතිරේක ලේකම්වරියටද ප්‍රශ්න මතු වී තිබූ අතර එහිදී ඇය ජනාධිපතිවරයාගේ පවා විවේචනයට ලක් වී තිබුණු බව මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේය. මෙසේ බරපතළ දූෂණ වංචාවලට රාජ්‍ය ආරක්ෂාව සපයමින්, ඒවාට අනියම් ලෙස උපකාර කිරීමට කටයුතු කළ එම කාන්තාව වජිර අබේවර්ධන අමාත්‍යවරයා යටතේ සේවය කිරීමටත්, ජනාධිපතිවරණයෙන් දින දෙකකට පසු අබේවර්ධන මහතා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ජනාධිපතිවරයා මුණගැස්සවීමට කැඳවාගෙන යෑමත්, රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් තිදෙනකු පාර්ලිමේන්තු විවාදයේදී ඇවන්ගාඩ් ආරක්ෂා කිරීම වෙනුවෙන් නැඟී සිටීමත් නිසා යහපාලන කල්ලියක් මෙම වංචා දූෂණ ආරක්ෂා කිරීමට ගොඩනැඟී ඇති බව පැහැදිලි වන බවත් බිමල් රත්නායක මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.


Share on Google Plus