අල්ලස් කොමිසම යට ගැසූ පැමිණිලි යළි අදී.


මීට වසර දාහතරකට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කිරීමේ කොමිසම වෙත ලැබී කිසිදු ආකාරයකින් විමර්ශනයට ලක් නොකර යට ගසා තිබූ අල්ලස් පැමිණිලි ද ඇතුළත්ව පැමිණිලි දස දහසක පමණ ප්‍රමාණයක් වර්තමාන අල්ලස් කොමිසම මඟින් විභාග කිරීම ආරම්භ කර තිබේ.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව හාරදහසක් වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කිරීමේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් මහත්මිය පැවසුවාය.

ඇවන්ගාඩ් ආයුධ වංචාව, හෙල්පින් හම්බන්තොට, කොටස් වෙළෙඳ පොළ, ලංකා ‍හොස්පිට්ල්ස් ඇතුළු රාජ්‍ය ආයතනවල සිදුවී ඇති දූෂණ වංචා මෙම අල්ලස් පැමිණිලි හාරදහස අතර වෙයි.

එම පැමිණිලි අතරින් එක්දහස් පන්සියයක පමණ පරීක්ෂණ අවසන් කර ඇත. ඒවාට සම්බන්ධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සහ අල්ලස් ‍පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ළඟදීම සිදුවෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

මෙම පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමට හැකිවූයේ පසුගිය ඔක්තෝබර් 12 වැනිදා නව අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කොමසාරිස් මඬුල්ල පත්වීමෙන් පසුව නිසා ඉදිරි වසර තුන තුළ මෙම පැමිණිලි දස දහස විභාග කර අවසන් කිරීම අල්ලස් කොමිසමේ ඉලක්කය බවට පත්ව තිබේ.

පසුගිය ආණ්ඩුවේ මෙන්ම දැනට පවතින ආණ්ඩුවේද මැති ඇමැතිවරු, රාජ්‍ය ආයතන, සංස්ථා, සමාගම් ඇතුළු ආයතන විශාල ප්‍රමාණයක නිලධාරීන්ට එරෙහිව අපක්ෂපාතීව ලැබී ඇති සියලුම පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ සිදු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

ඇවන්ගාඩ් ආයුධ නෞකාව සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ මේ වන විටත් බොහෝ දුරට කරගෙන ගොස් ඇති අතර ඒ යටතේ සිදුවී ඇති බරපතල දූෂණ ගණනාවක තොරතුරු අනාවරණය කර ගැනීමටද අල්ලස් කොමිසමට හැකිවී ඇත.

මෑතකදී සිදුවූ රේගුවේ කෝටි දොළහමාරක අල්ලස් සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් දෙදෙනාට එරෙහිව ලේඛන විශාල තොගයක් කොමිසමට ලැබී ඇත. ඒවා එකින් එක පරීක්ෂාවට ලක් කර ඔවුන් නීතිය යටතට ගැනීම සිදු වෙයි. මේ වන විටත් මෙම පුද්ගලයන් හඳුනාගෙන තිබේ.

පසුගිය මාර්තු 07 වැනිදා අල්ලස් කොමිසම මඟින් සාක්ෂිකරුවන් සුරැකීමේ පනත සම්මතවීමෙන් පසු ඉදිරිපත් වෙන පැමිණිලි ප්‍රමාණය අධික වී තිබේ. මෙම සියලුම සාක්ෂිකරුවන් ආරක්ෂා කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

අල්ලස් කොමිසමේ කටයුතු සඳහා නිලධාරින් අටසියයක ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. එහෙත් තවමත් සිටින්නේ නිලධාරීන් 154 දෙනෙකු පමණි.

විමර්ශන අධ්‍යක්ෂවරයකු කොමිසමට තවමත් නොමැත. සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනකුගේ අඩු පාඩුවක්ද පවතී.

'I Paid Bribe' නමැති වෙබ් අඩවිය ලබන 09 වැනිදා සිට අල්ලස් කොමිසම යටතේ පිහිටුවීමට කටයුතු කර තිබේ.

එහිදී අල්ලස් ගන්නා බවට සැක කටයුතු සිද්ධියක් යමෙක් දුටුවහොත් එය ජංගම දුරකථනය මඟින් වීඪියෝ ගත කර එය I Paid Bribe වෙත මුදා හැරීමට පහසුකම් සලසා තිබේ.

Share on Google Plus