නිල ඇඳුම් වෙනුවට වවුචර් ඇයි? - කැබිනට් මාධ්‍ය හමුවට අකිල ඇවිත් කී කතාව!


නිල ඇඳුම් වෙනුවට සිසුන්ට වවුචර් ලබාදීමට තීරණය කළේ ප්‍රමිතියෙන් තොර ඇඳුම් ඔවුන් අතට පත්වීම වැළැක්වීමටත්, අතරමැදියන් කොමිස් ගැසීම වැළැක්වීමටත්, රුපියල් මිලියන 500ක් පමණ ඉතිරි කර ගෙන එයද අධ්‍යාපනයේ දියුණුවට යෙදවීම සඳහාත් යැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙරට පාසල් සිසුන් ලක්ෂ 42ක් පමණ සිටින බවත්, ඔවුන්ට නිල ඇඳුම් ලබාදීම සඳහා පසුගිය වසරට රුපියල් බිලියන 2.3ක් වැය කර ඇති බවත්, නව වැඩපි‍ළිවෙළ යටතේ රුපියල් බිලියන 1.3ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇති බවත්, අමාත්‍යවරයා කියයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (19) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

නිල ඇඳුම් ලබාදීමේදී ඒවා නිසි පරිදි පරික්ෂා කිරීමක් සිදුනොවීම නිසා බොහෝ අවස්ථාවල සිසුන්ට ලැබී ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඇඳුම් බවත්, ඇතැම් විට 1 වසර සිසුන්ට ලබාදෙන රෙදි ප්‍රමාණය වැඩි බවත්, එසේම ඉහළ පංතිවල සිසුන්ට ලැබෙන රෙදි ප්‍රමාණය අඩු වී ඇති බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

නව ක්‍රමය යටතේ මවුපියන්ට තමන් කැමති හොඳ කඩයකට ගිහින් රෙදි හෝ මසා නිම කළ ඇඳුම් මිලදී ගැනීමට හැකි බවත්, වවුචර් ක්‍රමය යටතේ ශිෂ්‍ය භික්ෂූන් උදෙසා රුපියල් 1700ක වවුචරයක්, එක වසර සිසුන්ට එය රුපියල් 400ක්, මීට අමතරව 1000,  800, 750, 720 මිල ගණන් යටතේ වවුචර් ලබාදෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

වවුචරය රජයේ බැංකුවකින් මාරු කළ හැකි පරිදි දෙන අතරම එය පංති භාර ගුරුතුමා නිර්දේශ කළ යුතු බවද කී ඇමතිවරයා  මෙම මුදල ලැබුණු පසු පියා තැබෑරුමට යයි යනුවෙන්ද ඇතැමුන්‍ කතා කියා ඇති බව ඔහු පෙන්වාදුන්නේය.

එසේම රෙදි මිල ගණන් වැඩි වුණොත් මිල පාලනයක් කිරීමට පියවර ගන්නා බවද ඇතැම් විට වත්කමක් ඇති මවුපියන්ගේ දරුවන් වවුචර් ලබා ගැනීමට අකමැත්තක් දක්වන්නේ නම් එම මුදලද දුෂ්කර පළාත්වල දරුවන්ට වසර දෙවතාවක් නිල ඇඳුම් ලබාගත හැකි පරිදි ලබාදීමට අවධානය යොමුව ඇති බව ඇමතිවරයා පැවසීය.

මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බව පෙන්වාදුන් ඇමතිවරයා මෙම වැඩපිළිවෙළ තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇති නම් සොයාබලන්නැයි ජනාධිපතිවරයා කළ නියමයක් අනූව කමිටුවක් ද පත්කර ඇතැයි ඒ මහතා ‍ප්‍රකාශ කළේය.

කෙසේ වුවද නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට ලංකා ගුරු සංගමය මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ද විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඔවුන් පවසා තිබුණේ මෙය නිල ඇඳුම් ලබාදීම ද කප්පාදු කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි.

Share on Google Plus