ඇවන්ගාඩ් රැකගන්න ඇතැම් මාධ්‍ය - වෙබ් අඩවි පෙරමුණ අරන්.


ඇවන්ගාඩ් ගනුදෙනුව සාධාරණීකරණය කිරීමට දැන් ඇවන්ගාඩ් පෙරමුණක් ගොඩනැඟී ඇති බවත්, එහි පෙරමුණට මහින්ද රාජපක්‍ෂ කල්ලිය ඍජුව සම්බන්ධ වී ඇති බවත් පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා, මාධ්‍ය හා වෙබ් අඩවි ගණනාවක්ද එම ඇවන්ගාඩ් පෙරමුණේ ඉදිරියෙන්ම සිටින බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් ඇවන්ගාඩ් ගනුදෙනුව ආරක්‍ෂා කළේ තිලක් මාරපන පමණක් නොවන බවත්, එය ආරක්‍ෂා කළ තවත් පිරිස් ආණ්ඩුව තුළ සිටින බවත්, ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඔවුන් ඉවත් කිරීම බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තිලක් මාරපන ඇමැති ධුරයෙන් ඉවත් වූ පමණින් ඇවන්ගාඩ් ගනුදෙනුව යටපත් විය යුතු නැති බව පවසන මන්ත්‍රිවරයා සම්පූර්ණ වරද මාරපන මහතා පිට පටවා අනෙක් පිරිසට අත සෝදා ගත නොහැකි බවද පැවැසීය.

ජ. වි. පෙ. නායකයා මෙම අදහස් පළ කළේ පෙරේදා (9දා) ජ. වි.‍ෙ ප. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පැවැසූ සියල්ල සත්‍ය නම් මාරපන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වූයේ කුමන හේතුවක් නිසාදැයිද එහිදී දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.

වංචාව දුරලීම සහ වංචාවට හවුල් වූවන් නීතිය ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් ජවිපෙ පෙරමුණ ගෙන කටයුතු කරන නමුත් පැවැති සෑම පාලනයකට මෙන්ම, වත්මන් ආණ්ඩුවටත් අවශ්‍ය වී ඇත්තේ එම වංචා හෙළි කරනවා වෙනුවට වංචනිකයන් ආරක්‍ෂා කිරීම බවද ඔහු පැවැසීය.
ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කළද කිසිදු ඇමැතිවරයකු හෝ මන්ත්‍රිවරයකු ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් නොකළ නමුත් ඇවන්ගාඩ් ගනුදෙනුව සාධාරණීකරණය කිරීම ඔවුන් සියලු දෙනාගේ අදහස වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Share on Google Plus