ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය පිටුපස මිලියන 500ක අල්ලසක්.


නාවික ආරක්ෂක සේවා සැපයීමේ ඒකාධිකාරය ඇවන්ට්ගාර්ඩ් (AVANT GARDE MARITIME SERVICES) සමාගමට ලබා දී ඇත්තේ රුපියල් මිලියන පන්සියයක අල්ලසක් හේතුවෙන් බව අනාවරණය වී තිබේ.

2010 වසරේ ඇවන්ට්ගාර්ඞ් සමාගම විසින් මෙම මුදල ලබා දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ පූර්ව ප‍්‍රචාරක කටයුතු සඳහාය.

මේ සම්බන්ධයෙන් 2015 පෙබරවාරි 09 වන දින මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. අදාළ පැමිණිල්ලට අනුව ට්‍රෝලර් යාත‍්‍රාවල ආරක්ෂාව සැපයීමේ කටයුත්ත සඳහා NSTN Maritime Services (Pvt) Ltd.සමාගමටත් අවස්ථාව ලබා දෙන ලෙස 2012 වසරේ දී ඉල්ලා ඇත.

එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතාටය. ඉටු කළ නොහැකි කොන්දේසි ගණනාවක් පනවා නාවික ආරක්ෂක සේවය ඇවන්ට්ගාර්ඩ් සමාගමට පමණක් ලබා දීමට ක‍්‍රියාකර ඇත්තේ කුමන හේතුවක් මතද යන්න මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා විසින් පාලිත ප‍්‍රනාන්දු මහතාගෙන් විමසා ඇති අතර එහි දී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ‘ජනාධිපතිතුමාගේ ඉලෙක්ෂන් වැඩවලට රුපියල් මිලියන පන්සියයක් ඇවන්ට්ගාර්ඩ් සමාගම දීලා තියෙනවා. ඒක නිසා මේ බිස්නස් එක ඒ සමාගමට දීලා තියෙන්නේ. අවුරුදු තුනකින් පස්සේ ඔයාගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න.’ කියාය. මේ තත්ත්වය මත නාවික ආරක්ෂක සේවා සැපයීමේ ඒකාධිකාරය ඇවන්ට්ගාර්ඩ් සමාගමට ලබා දී ඇත්තේ රුපියල් මිලියන පන්සියයක අල්ලසක් ලබා දීම හේතුවෙන් බව පෙන්වා දෙමින් මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පැමිණිල්ලේ චූදිතයන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ආරක්ෂක ලංකා සභාපති පාලිත ප‍්‍රනාන්දු, ඇවන්ට්ගාර්ඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපති යන අය නම් කර ඇත.


-සත්හඬ

Share on Google Plus