වෙල්ගම බස්වලින් ගිල්ල බිලියන 1.4 නිසා එජාපයේ වාදයක්.


රාජපක්ෂ රෙජීමයේ හිටපු ප්‍රවාහන ඇමති මෙන්ම රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු වන කුමාර වෙල්ගම ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් බස්රථ මිලදී ගැනීමේදී එක් බස්රථයකින් මිලියනයක් බැගින් යටිමඩි ගසාගෙන ඇති බව අනාවරණය වී ඇත. මෙසේ කුමාර වෙල්ගම සහ හිටපු ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම මුදල අයථා ආකාරයට උපයාගත් ආකාරය පිළිබඳව සියලු විස්තර හෙට (01) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතව තිබේ.

මෙම කරුණු පළමුවරට හෙලිදරව් වී ඇත්තේ පසුගිය සතිඅන්තයේ අය-වැය පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පැවැත්වූ නේවාසික වැඩමුළුවකදීය. මෙම වැඩමුළුවේදී රවී කරුණානායක මහතා මෙම කරුණු හෙලිකරද්දී නැගීසිට ඇති කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසා ඇත්තේ 'මේ චෝදනාවත් තවත් එක මාධ්‍ය සන්දර්ශනයක් විතරක් වේවි. මාධ්‍යවලින් සද්දෙ දාල විමර්ශන පටන් ගන්නවා. නමුතු අන්තිමට නටපු තොවිලෙකුත් නෑ - බෙරේ පලුවකුත් නෑ. මේකත් ඒ මට්ටමට යන්න දෙන්න එපා. දූෂිතයන්ට දඬුවම් කරන්න' කියාය. ඒ සමගම නැගීසිට ඇති ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, 'දැන් රටේ ලෝකෙ මිනිස්සු අපි දූෂණ ගැන කියද්දි හිනා වෙනවා. පහුගිය මාස දහයට කාවද ඇල්ලුවෙ, කාවද හිරේ දැම්මෙ කියල අහනවා. දැන් අපි මොනව කිව්වත් මිනිස්සු ගණන් ගන්නෙ නැති ලෙවල් එකට ඇවිල්ල තියෙන්නෙ. මුදල් ඇමතිතුමා, ඔබතුමා සම්පූර්ණයෙන්ම මේ හෙලිදරව්ව කරනව නම් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා' යනුවෙන් මරික්කාර්ගේ ප්‍රකාශයට සහාය දෙමින් පවසා ඇත. 

ඒ අනුව කුමාර වෙල්ගමගේ හා ධම්මික පෙරේරාගේ දුෂිත ගනුදෙනුව පිළිබඳව සියලු විස්තර මුදල් අමාත්‍යවරයා විසින් හෙට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත වේ. මෙසේ සභාගත කිරීමට නියමිත තොරතුරු මුදල් අමාත්‍යවරයා විසින් අශෝක් ලේලන්ඩ් සමාගමේ නිළධාරීන්ගෙන් ස්වාධින ලෙස තහවුරු කරගත් ඒවා වේ. 
  

Share on Google Plus