රාජිතටත් ඉල්ලා අස්වන්නැයි බලපෑම්



ඇවන්ට්ගාර්ඩ් සමාගම සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් කතා කළ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා හා එම ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර පැවැති මුදල් ගනුදෙනු හා ව්‍යපාරික සම්බන්ධතා හෙළිදරව් වීම හේතුවෙන් මෙම සමාගම සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතුවලට බලපෑමක් නොවීම සඳහා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට මැති ඇමැතිවරුන් ගණනාවකගෙන් ඔහුට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ වන විටත් එම ව්‍යාපාර හිමිකරු සමඟ වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබීම නිසා සේනාරත්න මහතා සමාගම සම්බන්ධ ප‍්‍රශ්නයට අවතීර්ණ වීම බරපතළ සැකයට තුඩු දෙන්නක් බවත් එම මහතා තවදුරටත් මෙම ප‍්‍රශ්නයට මැදිහත් නොවිය යුතු බවටත් ඇමැතිවරු කිහිප දෙනකුම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කරුණු දක්වා තිබේ.

පසුගිය බදාදා පැවැති කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් ඇමැතිවරු ගණනාවක්ම අදහස් පළ කර ඇත. සේනාරත්න මහතා විදේශගතව සිටි බැවින් මෙම රැස්වීම සඳහා සහභාගීවී නොමැත. විශේෂයෙන්ම අල්ලස් චෝදනා ලැබූවකු අමාත්‍ය මණ්ඩල ප‍්‍රකාශකයා ලෙස පෙනී සිටීම බරපතළ කරුණක් බව ද එම ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

නීතිය හා මහජන සාමය පිළිබඳ ඇමැතිව සිටි තිලක් මාරපන මහතා ඇවන්ට්ගාර්ඩ් සමාගම තමන්ගේ පැරණි සේවා දායකයකුව සිටීම එම සමාගම සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතුවලට බාධාවක් විය හැකි බවට සැක පළ වීමට ඉඩ නොතබා ඉල්ලා අස් වී වැදගත් පූර්වාදර්ශයක් ලබා දී තිබිය දී සේනාරත්න මහතා ද ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා වන පරිදි පරීක්ෂණ කටයුතුවලට බලපෑමක් නොවීම සඳහා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු ගණනාවකගෙන් මෙහි දී අදහස් පළ වී ඇති බව ද වාර්තා වේ.


Share on Google Plus