අන්තර්ජාලයේ රෙදි ගලවාගත් යුරේනිගේ යට ඇඳුම.


ආත්මය වසා ලියනවා නොව, සහසුද්දෙන්ම ආත්මය නිරුවත් කොට ලියමි. ජංගි කොටයටත් සරම කූඩාරම් ගසා ගන්නා මිනිසුන් අතර සිටීම ගැන මා හට ඇත්තේ තදබල ඊර්ෂ්‍යාවකි. මක්නිසාදයත්, පිරිමියෙකු ලෙස වැඩුණු, පිරිමින් අතරම වැඩුණු ගැහැනුන් හා කෙලි දෙලින් ජීවිතය ගත කල මාහට එවැනි හැගීමක් යුරේනිගේ ඇඳුමින් නොදැනීම මගේ සිතට ගෙන දී ඇත්තේ පීඩනයකි.

මා යුරේනි නිරුවත් දැයි බැලුවෙමි. නැත. ඈ කය වසාගෙන සිටී. වරද නිවැරදි කොට , මෙසේ ලියන්නත සිත්විණි. බොහෝවිට මා ගමන් අඳින්නේ හිර ඩෙනිමකි. දෙකකුල් බම්බු කොට මෙන් සිරවන සේ අඳින, තට්ටම් දෙක ඉලිප්පී පෙනෙතැයි බියෙන් මා පසුවෙමි. මා වියේ පසුවව මොඩර්න් සංස්කෘතියේ එවුන්ද එකී ඇඳුමට කැමතිය. ලැදිය. කිසිවෙකු අප පිරිමින් නිසාදෝ අපගේ ඇඳුමට කන් කෙඳිරි ගාන්නට ආවේ නැත. තව කමිසයේ උඩු බොත්තම මා මෙන්ම සම වයසේ සිටින ඇතමුන් ද ගලවා දැම්මේය . එය කලේ නිදැල්ලේ හමන පවන් රොදක සිහිලස පපුවට විඳ ගැනීමට මිසක කටු බොඩිය පෙන්වා තවකෙක් මත් කිරීමට නොවන වග අපගේ සිත් සනත් හැදිණ තිබිණි.

අප හිරට ඇඳ නිදැල්ලේ ඇවිදිද්දීත්, දනිස්සට කොට වන්නට ශෝටක් ඇඳ නොකැපූ මයිල් ගස් පෙන්වමින් නගරයේ ඒ මේ අත ඇවිදිද්දීත් කිසිවෙකු ඔච්චම් නොකලේය. එසේ කරනුයේ අප පිරිමින් නිසා යැයි අද මම යුරේනිගෙන් උගෙන හමාරය. එකල පාසැල් වියේදී අප අතර සිටි සහෘදයින් සිය කමිසය යට කරන්නේ යට ඇඳුමටය. මෙකී සටහන කියවන නුඹලා ද එසේ කරන්නට ඇතැයි සිතමි. එසේ යටකරන විට කමිසය නිතර උඩ එන්නේ නැත. එය සිරවී තිබෙනවා පමණක් නොව නැවත නැවත සැකසිය යුතුද නොවේ. නමුත් එයින් සිදුවන අනෙක නම් දුවන ඇවිදින නැමෙන විට යට ඇඳුම පෙනීමයි.

‘මචං උඹේ යට කලිසම පේනවා' යැයි අපගේ විලිය වසා ගන්නට අනුබල දුන් ගැහුණු ළමයෙක් එකල නොසිටියාය. ඔවුන් ඒවා ගැන නොතකන්නට ඇත්තේ අප පිරිමින් නිසාය. පිරිමින් සිය කලිසම් දෙපැත්ත ගසා හිරට අඳිති. පිරිමින් සිය රෝම කූප පෙන්වමින් කුඩා කලිසම් කොට ඇඳගෙන නිදැල්ලේ සැරි සරති. පිරිමින් සිය යට ඇඳුම පෙන්වා ඉබාගාතේ හැරුණු අත යති.

කිසිදු ගැහැණියෙක් ඒවාට බැණ වදින්නේ නැත.

ගල්කිස්ස මූදු වෙරළේ ඕනෑ තරම් සුදු ගැහැණුන් බිකිණිය ඇඳ බංකු මත දිගාවී සිටිනවා මා දැක ඇත. ස්වදේශිකයින් ඒවාට කිසිවක් කියන්නට හෝ ගුරුහරුකම් දෙන්නට නොයති. ඒවා දැක සරම කූඩාරම් ගසා ගත් එවුන්ද සිටිනවා යැයි සිතන්නට තරම් මා බුද්ධියෙන් තොර නොවෙමි.

බිකිණිය යනු කුමක් දැයි අමුතුවෙන් සටහන් කරන්නට හෝ කියා දෙන්නට තරම් නුඹලා මෝඩයන් නොවෙනු ඇතැයි සිතමි.

එසේනම් යුරේනිගේ හිර කලිසම දැක සුරාන්තයට පත්වී සිටින ගැහැණුන් හා පිරිමින් අරඹයා මෙසේ සටහන් කරමි.

වරද ඇත්තේ යුරේනි නොෂිකාගේ නොවේ. වරද ඇත්තේ නුඹලා යුරේනි නොෂිකා නිරුවත් කොට බැලීම තුළයි. නුඹලා ඈ නිරුවත් කොට දූෂණය කර හමාරය. සෑම කරුණකටම මුල් වන සිත බොහෝ වැරදි කොට ඇත්තේමය. ඉඳින් නිකරුනේ ඈ වැරදි කරුවෙකු නොකරන්න..

තවමත් ගල් යුගයේ තබා ඇති නුඹලාගේ සිත් වර්තමානයට ගෙනවිත් ගෝත්‍රික අදහස් බැහැර කරන්නට ආරාධනය කරමි


- සඳු දිසානායක

Share on Google Plus