යහපාලනයේ දූෂිතයනුත් ජනපති පරීක්‍ෂණ කොමිසමට.


වර්තමාන ආණ්‌ඩුව යටතේද සිදුවන දූෂණ හා අක්‍රමිකතා පරීක්‍ෂා කිරීම සඳහා බරපතළ වංචා හා දූෂණ පිරික්‌සීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට බලතල පැවරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගනිමින් සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරන ලද්දේ පසුගිය ජනවාරි මස 8 වැනිදායින් අවසන් වූ වසර පහේදී සිදු වූ දූෂණ හා අක්‍රමිකතා පිරික්‌සීම සඳහාය. 

ජනවාරි මස අටවැනිදායින් පසුව සිදු වී ඇති දූෂණ හා වංචා පිළිබඳ පරීක්‍ෂා කිරීමේ බලතල කොමිෂන් සභාවට පැවරීමට සූදානම් වන්නේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ පරීක්‍ෂණ ඉතාමත් සාර්ථක ලෙස සිදු කෙරෙන නිසා යෑයිද ඉහත ආරංචි මාර්ග කීවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙම කොමිෂන් සභාවට කිහිපවරක්‌ කැඳවා ප්‍රශ්න කරනු ලැබූ අතර හිටපු ජනාධිපතිවරයා යළි මෙම මස 29 හා 30 යන දිනවලදී ද කොමිසමට කැඳවනු ඇත.

ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ විෂය පථයට අයත් නොවූ එම කොමිෂන් සභාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද පෙත්සම් රැසක්‌ සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ද ජනාධිපතිවරයා විසින් බලතල පවරනු ලැබ ඇති අතර ඊට අදාළ පරීක්‍ෂණ ද මේ වන විට සිදු වෙමින් පවතියි. දැනට පවතින සාර්ථකත්වය මත කොමිෂන් සභාවේ විෂය පථය පුළුල් කිරීමද අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ඉහත ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.

පරිගණක ආශ්‍රිත සියලුම මූල්‍ය හා අපරාධ මෙන්ම ඉදිරිපත් වන පෙත්සම්වලට අමතරව මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මගින් හෙළි කරන විවිධ වංචනික ක්‍රියා විමර්ශනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබෙන අයුරින් බලතල පැවරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

Share on Google Plus