දිනේෂ්, විමල්, ගම්මන්පිලට සන්ධානේ ඇඩ්‍රස් නැතිවෙයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ජාතික සමඟියට බාධාකාරී පිරිස් සහ කල්ලිවාදී ලෙසින් නිදහස් සන්ධානයේ පොදු දේශපාලන කටයුතුවලට බාධා කරන පාර්ශ්ව ඉවත් කර නව බලවේග දිනාගන්නට සමත් පුළුල් ප‍්‍රතිසංස්කරණයක් දියත් කිරීමට  සන්ධාන නායකත්වය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙහි දී දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළ උරුමය ඇතුළු සුළු පක්ෂ සහ පුද්ගලයන් කිහිප දෙනකුම ඉවත් කරන්නට තීරණය කර ඇති අතර තවදුරටත් සන්ධානයට දෙන දේශපාලන දායකත්වය පිළිබඳ වමේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡුා කර තීරණයක් ගැනීමට තීන්දු කර ඇති බව ද වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ප‍්‍රතිසංස්කරණ කටයුත්ත හරහා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ජනතා සේවක පක්ෂය ඇතුළු පුළුල් බලවේගයක් තුළ සන්ධානය ශක්තිමත් කරලීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.

එසේම නව ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය හරහා රාජපක්ෂ පාලනය තුළ කලකිරීමට පත්ව සන්ධානය සහ ශ‍්‍රීලනිපය අත්හැර ගිය බලවේග ද එක්කර ගැනීමට සැලසුමක් ඇති බවත් ඒ වෙනුවෙන් මෙතෙක් කර ඇති සාකච්ඡුා සාර්ථක වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

එසේම මෙම ප‍්‍රතිසංස්කරණ කටයුත්ත එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර සිදු කරන්නට නියමිත බව ද වාර්තා වෙයි.

(සත්හඬ - සංජය ලියනගේ)

Share on Google Plus