පසුගිය ඡන්දය දේශපාලන තරාදියට දමමු. (Special Report)


පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු අනාගතය ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටිවිට ඔහු ප්‍රකාශ කර ඇත්තේ “අපිට 95යි ඒ පැත්තට 105යි. තව අවුරුදු දෙකකින් ඔය ඔළුගෙඩි මාරු කරන හැටි මම දන්නවා” කියාය. මෙය මහින්ද රාජපක්ෂගේ අනාගත වාක්‍යයක් නොවේ. ඔහුගේ කණ්ඩායමේ මෙන්ම ඔවුනට අරමුදල් සපයන දේශීය විදේශීය සියළු දෙනාගේද ඉලක්කයයි. ප්‍රශ්ණය ඇත්තේ මහින්ද 2015දී දෙවරක් (ජනවාරි 08, අගෝස්තු 17) වරද්දාගත් ඉලක්කම් සෙල්ලම 2017දී වරද්දා ගැනීමට යන බවය.

2014දී ජනාධිපතිවරණය ප්‍රකාශ කරනවිට මහින්ද සිතා සිටියේ තම ප්‍රතිවාදියා රනිල් බවය. වැඩි ඡන්ද දශ ලක්ෂයකට එහායින් තමන්ට ජයලැබිය හැකිබව ඔහුගේ තක්සේරුව විය. එය 2013-2014 සමස්ථ පළාත් සභා මැතිවරණවලින් එළැඹුන නිගමනයක් විය. (එහිදී එජාපයට ලක්ෂ 26 ක්ද, ශ්‍රිලනිප සන්ධානයට ලක්ෂ 46ක්ද ලැබී තිබිණි) නමුත් මහින්ද තක්සේරු නොකළ සාධක තුනක් තිබිණි. එකක් නම් 2015 ජනාධිපතිවරණය පළමු සාමකාමී ජනාධිපතිවරණය නිසා උතුරු හා නැගෙනහිර ජනයා මහා පරිමාණයෙන් චන්දය දැමීමෙන් (65%ක් හෝ එයට වැඩි) කුමක් වේද යන්නය. දෙවැන්න දකුණේ සිංහල මධ්‍යමපන්තිකයන්ගේ දූෂණ විරෝධී හැසිරීම මගින් මහින්දට සිංහල ඡන්ද දායකයන්ගෙන් 65% ඉක්මවා හෝ බෞද්ධ ඡන්ද දායකයන්ගෙන් 71% හෝ ඉක්මවා ලබා ගැනීමට හැකිද යන්නය. තුන්වනුව වෙනත් හේතූන් මත එජනිස බෙදීමක් ඇතිවුවහොත් එයින් ඇතිවන බලපෑමය. මහින්දගේ බැසිල් ඇතුළු න්‍යායාචාර්ය වරුන්ට නොපෙනීගිය මේ සත්‍යය ප්‍රතිවාදීන් විසින් නිවැරදිව තක්සේරු කළ නිසා අනපේක්ෂිත ජනපතිවරණ පරාජයක් මහින්දට ලැබිණි. දෙමළ චන්ද (සම්බන්ධන්), දූෂණ විරෝධී මධ්‍යමපාන්තික චන්ද (චම්පික), සන්ධාන චන්ද (චන්ද්‍රිකා, මෛත්‍රී, රාජිත) විසින් මහින්දගේ මනෝ ලෝකය බිඳ දමනු ලැබීය. මහා මැතිවරණය පැමිණි විටද මෙවැනිම ගණිත තර්ක ගෙන එනු ලැබීය. ඒ මහින්දගේ ලක්ෂ 58 ගැනය. (ඇත්ත ගණන ලක්ෂ 57ක් විය) මෛත්‍රීගේ ලක්ෂ 62, දෙමළ සන්ධානය (ලක්ෂ 6), ජවිපෙ (ලක්ෂ 5 ½ ) ෆොන්සේකා (ලක්ෂ 3 ½) මෛත්‍රී (ලක්ෂ 5) ආදී ලෙස ගැලවී ගිය විට යූඑන්පීයට ලක්ෂ 42ක් ලැබී මහින්ද - මෛත්‍රී සන්ධානයට ලක්ෂ 62ක් ලැබී එ.ජ.නි.ස  ජයගන්නා බවට අනාගත වාක්‍ය කියනු ලැබීය. මහින්ද රාජපක්ෂ අගමැති සටනට ආවේ මේ කපටි කේවට්ටයින්ගේ ගණිත විජ්ජාවට රැවටීය.  පළමුව තීරක මැතිවරණයක් පරාජය වීමෙන් පසුව අඩුම තරමින් 20%ක් වත් චන්දය නොදී ඉන්නා බවත් අවසන් මොහොතේ චම්පික, රාජිත, අර්ජුන යූඑන්පීයට එක්වීම නිසා මෛත්‍රීට ඡන්දය දුන් මධ්‍යස්ථ බලවේග යූඑන්පීය තුළම ඉතුරුවන බවත් එයට අමතරව ෆොන්සේකාට පළාත් සභාවලදී  චන්දය දුන් පිරිස් මෙවර යූඑන්පීයට ඇදී එන බවත් එජනිස ගණන් කාරයින් ගණන් ගත්තේ නැත. ප්‍රතිඵලය වූයේ මහින්ද චන්ද ප්‍රමාණය ලක්ෂ 11 කින් අඩුවී මෛත්‍රීට දුන් චන්දය නොසෙල්වී  එජාප, ජවිපෙ‍්‍, දෙමළ සන්ධානයට ලැබීමය.  දැන් මහින්ද ආයෙත් බොරු ගණන් හැදිල්ලක සිටිනා අතර ඊලඟ පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රිලනිපය දැවැන්ත පරාජයක් ලබාගැනීමෙන් පසු මහින්දත් රනිල්ගේ ඔඩොක්කුවටම වැටීමට නියමිතය.  මේ නිසා ශ්‍රිලනිපය දැන්වත් දේශපාලන යථාර්තයට මුහුණදිය යුතුය.

එනම් ඔවුන් මූලික මැතිවරණ දෙකකින්ම පරාජයට පත්ව ජනාධිපතිගේ අනුකම්පාව මත ආණ්ඩුවේ එල්ලී සිටිනා බව හා මහින්දව මාකට් කර ශ්‍රිලනිප නොවන අය මනාප ගොඩලොකුකරගත්තද ඉදිරියේදී “මහින්ද සුලඟ” නැවත ඇති නොවන බවය. ඇත්තටම මහින්ද රටේ සුලඟක් වී තිබුණේ 2010දීය. 2015දී මහින්ද සුලඟ මෛත්‍රී පවුරේ හැපී නතර විය. ඊළඟට එය රටේ හැමූ සුලඟක් නොව ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානය තුළ ජනාධිපතිවරණ පරාජයේ කම්පාවෙන් සැළී සිටි පිරිස් අතර ඇතිවූ අභ්‍යන්තර එකතැන කැරකෙන සුළියක් විය. ඒ වෛරී සුළියට හසුවී එස්.බී, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, විජිතමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා වැනි මහගස් ඉදිරී ගියේය. වීරවංශගේ අපේක්ෂකයින් ගම්පහ ප්‍රසන්න යුගලය , කොළඹ ගම්මන්පිල, මාතර ඩලස් වැනි පිරිස් අතිවිශාල මනාප ලබාගත්හ. වීරවංශ, වෙල්ගම, එස්.එම්. චන්ද්‍රසේන හැරුණු විට සෙසු කිසිවෙක් හට චන්ද ලක්ෂය මහමැතිවරණයකදී ඉක්මවිය නොහැකි අතර මහින්ද සුළිය විසින් ගසාගෙන ආ පොල්පිතිම විය.

අවසන් මොහොතේ සන්ධානය අතහැර එජාප පෙරමුණට ගිය චම්පික, රාජිත, අර්ජුන, හිරුණිකා ජයග්‍රහණය කළහ. එසේ නොවුනා නම් ඔවුනට නියත පරාජයක් ශ්‍රිලනිපය ප්‍රමුඛ පෙරමුණෙන් ලැබෙනු ඇත. රාජිත හා ඔහුගේ පුත් චතුර ලබාගත් ජයග්‍රහණය ප්‍රශංසනීයය. රාජිත කළුතරින් පළමු තැනට ආවේ ඔහුට යූඑන්පී යාන්ත්‍රණය හුරුපුරුදු නිසාත් දෙමළ, මුස්ලිම් මනාපය අඩු නැතිව ලැබුණු නිසාත්ය. කෙටිකලක් තුල තියුණු සටනකින් ජයගත් චතුර සේනාරත්නගේ ජයග්‍රහණය නම් සුවිශේෂීය. එනමුත් ඔහු සිය තරම පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් ඇතිකරගෙන තිබීම අනාගතයට සුභ නැත. අර්ජුන සිය ගම වූ ගම්පහ දී රනිල් හා චන්ද්‍රිකාගේ ආනුභාවයෙන් හොඳ ජයග්‍රහණයක් ලබා තිබේ. අර්ජුන මතක තබාගත යුත්තේ මේ ඔහුගේ අවසාන පිම්ම බවය. ඔහු කොළඹ, කළුතර දිස්ත්‍රික්ක දෙකටම ‘පොල්ල’ තැබූ දේශපාලනඥයෙකි. ඔහු ගම්පහ ස්ථාවර පදනමක් ගොඩනගානොගතහොත් රුක්මන්ට පොළොන්නරුව, කෑගල්ල ආදියේදී අත්වූ ඉරණම අත්වීමට ඉඩ ඇත.

ජාතික හෙළ උරුමය අපේක්ෂකයින් 8 දෙනෙක් ඉදිරිපත් කර ජයග්‍රහණය කර ඇත්තේ දෙදෙනෙකි. ඒ චම්පික සහ කරු පරණවිතානය. ඔවුන්ගෙන් අපේක්ෂකයින් සිව්දෙනෙකු මනාප චන්ද 20,000 සීමාවට ලඟාවී ඇත. එනිසා එම දිස්ත්‍රික්කවල සංවිධානාත්මක පදනමක් ගොඩනඟාගැනීම ගැන ජාතික හෙළ උරුමය ක්‍රියා නොකළ හොත් එහි නායකයින්ට ප්‍රධාන පක්ෂයක සාමාජිකයින් වීම හැර අන් මගක් ඉතුරු නොවනු ඇත. විශේෂයෙන් චම්පික රණවක මතක තබාගත යුත්තේ කොළඹ අති ප්‍රබල යූඑන්පී ලැයිස්තුව ඉදිරියේ ලක්ෂයක මනාප ඔහු ගත්තද ඔහුගේ මනාපවලින් 70%ක් ඇවිත් ඇත්තේ යූඇන්පීය පරාජය වූ කඩුවෙල, හෝමාගම, කැස්බෑව, මහරගම හා අවිස්සාවේල්ලෙන් බවය. යූඇන්පීය ජයග්‍රහණය කළ සුළු ජාතිකයන් වාසය කළ ප්‍රදේශවල ඔහුට මනාප ලබාදී නැත. බොහෝ දුරට සිංහල මධ්‍යපාන්තික චන්ද දායකයින්ගෙන් සමන්විත  කොළඹ තැපැල් ඡන්දයේදී රනිල් 80%ක් ගන්නා විට චම්පික 35%ක් ගත්තද, සමස්ථ චන්ද මනාපයේදී රනිල් 80% රැකගන්නා විට චම්පිකගේ තත්ත්වය 15% දක්වා ඇද වැටුනේ යූඑන්පී චන්දයෙන් 45%ක් වූ අබෞද්ධ අසිංහල පිරිස් ජා.හෙ.උ. අපේක්ෂකයින්ට චන්දය නොදීම නිසාය. අතුරලියේ රතන හිමියන් ගම්පහින් චන්දය ඉල්ලුවානම් ඇතැම්විට පරාජය වීමටද මේ අනුව ඉඩ තිබිනි. ජාතික ලයිස්තුවෙන් උන්වහන්සේ පාර්ලිමේන්තුවට ගියද බෞද්ධ භික්ෂුව මන්ත්‍රීවරයෙකු නොවී (මාදුළුවාවේ සෝභිත හිමි මෙන්) අපක්ෂපාතී දේශපාලනයක නියැලීම දැකීම දැන් දේශපාලනිකව බෞද්ධයින්ගේද අදහස බව රතන හිමියන් දැනගත යුතුය.

තමාට චන්දය දුන් ජනතාවට ස්තූතියි කියා කියන්නටවත් පෝස්ටරයෙන් ගහන්නට, ගහක් කොලයක් ගානේ පෝස්ටර් ගහන ජවිපෙට නුපුළුවන් විය. එයට හේතුව ආසන 15ක් පතාගෙන ගොස් 04ට වැටීමය. එතැනදීද ජාතික ලයිස්තුවෙන් ලාල් කාන්ත කපන්නට ගොස් අනුර දිසානායක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ගොඩනගාගෙන ඇත. කෙසේ වෙතත් ජවිපෙ 2014 පළාත් සභා චන්දයට සාපේක්ෂව චන්ද පදනම 60%කින් වැඩිකරගෙන ඇත. ඔවුන්ට චන්ද වැඩිකරගත නොහැකිව ඇත්තේ කොළඹ පමණි. ඒ ප්‍රබල යූඑන්පී ලයිස්තුව නිසාය. ප්‍රශ්ණය වී ඇත්තේ ඔවුන්ගේ ජාතික චන්දයට අනුකුලව ඔවුන්ට අඩුම තරමේ ආසන 10ක් ලැබිය යුතු වුවත් ජාතික ලැයිස්තුව සමග එය 06ට සීමා වීමය. මෙවර ඉතුරුවට ලැබෙන ආසන හෝ 5% සීමාවේ ආසන හෝ එකක්වත් ඔවුන්ට ලැබී නැත. ජවිපෙ යූඑන්පීය සමග රහසේ කෑ දීගයේ තරම පහළ මැද පන්තියට ඉව වැටීම නිසා ‍ඔවුන් ශ්‍රිලනිපයට ආකර්ශනය වූ අතර ඉහළ මැද පන්තිය යූඑන්පීයේ අපේක්ෂකයන්ට මානාපය ලබාදුන්හ. තමන්ට ඇත්තේ රසිකයන් මිස චන්ද දායකයින් නොවන බව ඌව චන්දයෙන් පසු සමන්ත විද්‍යාරත්න පලකළ මතය අනුර දිසානායකට තවමත් තේරුම් ගොස් නැත. ජවිපෙ ඉක්මනින් මධ්‍යම පාන්තික පක්ෂයක් වීමට ක්‍රියා නොකළ හොත් එහි මැතිවරණ දේශපාලනයෙන් ඈත් වී නැවතත් ආයුධ අත්හදා බැලීමට තල්ලුවීමට ඉඩ ඇත.

ලොකුම විනාශය කරගත්තේ සරත් ෆොන්සේකාය. ඔහුට එරෙහිවූ නඩුහබ ඉවත් කර ෆීල්ඩ් මාෂල්කම ලැබුනුදා ඔහුගේ දේශපාලනය අහවර විය. යූඑන්පීයේ අභ්‍යන්තර අවුල නිසා ඔහුට කිට්ටු වූ චන්දදායකයන් යූඑන්පීය දිනවීමට නැවත සිය මහගෙදරට ගියහ. එය ඌව මැතිවරණයෙන් පෙණින. යූඑන්පීය ඉල්ලා සිටිවිට කුරුණෑගලට ගොස් ෆොන්සේකා තරඟ කළා නම් ඇතැම්විට කුරුණෑගල දිස්ත්‍රික්කය මහින්ද පරදින්නට ඉඩතිබිනි.(කුරුණෑගල තැපැල් ඡන්දය ජයගත්තේ යූඑන්පීයයි)

උතුරේ එල්ටීටීඊ කල්ලි පරාජය කිරීමට දෙමළ සන්ධානයට හැකිවුවද එය තවදුරටත් එල්ටීටීඊ මතවාදයේ එල්බ සිටීම ලාංකික දෙමළ සමාජයට සුදුසු නැත. ජාතික දේශපාලන පක්ෂ දෙක දැන්වත් දෙමළ රාජ්‍ය පක්ෂය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් බෙදුම්වාදී දේශපාලනය පරාජය කිරීමට සිය අපේක්ෂකයින් හා ස්වාධීන කණ්ඩායම් යාපනය, මඩකලපුව, අම්පාර, වන්නි දිස්ත්‍රික්ක වල ශක්තිමත් කළ යුතුය. විපක්ෂනායක ධුරය දැරීමට තමන් බෙදුම්වාදය අත්හළ බවත් ශ්‍රී ලංකාවේ  දේශප්‍රේමියෙකු බවත් සම්බන්ධන් ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය. තමන්ට ලැබෙන අමාත්‍යාංශවල මහාපරිමාණ හොරකම් කරමින්, තම පාක්ෂිකයන්ගෙන් ඒවා පුරවමින්, මහා චන්දයේදී මුස්ලිම් ජනතාව විකුණා බැංකු ගිණුම් තරකරගැනීම හකීම් සහ රිෂාද් නතර කළ යුතුය. නැත්නම් කාන්තාවක් වු නිසා මුසාමිල් මහත්මිය පරාජය කළා වැනි අන්තවාදී මුස්ලිම් කල්ලිවලට මුස්ලිම් දේශපාලනය ගොදුරුවීම වැළැක්විය නොහැක.

මෛත්‍රී-රනිල් දීගය කවර ආකාරයකින් බැලුවද වැඩිකල් පවතින්නක් නොවේ. ඉදිරියේ ඇතිවන දේශපාලන ගැටුම්වලදී දරුණුම පරාජය ලබන්නේ ශ්‍රිලනිපයයි. මෝඩ මහින්දව ගොනාට අන්දවා ශ්‍රිලනිපය ගිලගත් කුඩා කල්ලිවලින් පක්ෂය බේරාගැනීම ජනාධිපති මෛත්‍රීපාලගේ වගකීමකි. ඔහු එය චන්ද්‍රිකාට බාරදුනහොත් වන්නේ පක්ෂය මෙන්ම ඔහුත් විනාශ වීමය.

ධර්මසිරි හේවාගම - දේශපාලන විග්‍රහයක්
රජරට සංස්කෘතික හා කලා පදනම


Share on Google Plus