උදාගම් නැවතත් ගේනවා - ඇමැති සජිත් ප්‍රේමදාස.


ජන ජීවිතයට ප්‍රතිලාභ රැසක්‌ අත්කර දුන් උදාගම් සංකල්පය නැවතත් මේ රටේ ක්‍රියාත්මක කරනවා යෑයි නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිය මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදුන් අම්බලන්තොට දෙහිගහලකන්ද ජනතාවට ප්‍රණාමය පළකිරීම සඳහා එම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ජන ජීවිතයට ප්‍රතිලාභ රැසක්‌ අත්කර දුන් "උදාගම්" සංකල්පය නැවතත් මේ රටේ ක්‍රියාත්මක කිරීමට රජයක්‌ වශයෙන් අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය අනුමැතිය ඉකුත් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී හිමි වීම ඉතා වැදගත් සිද්ධියක්‌. ඒ යටතේ මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර නව "උදා ගම්මාන" 38 ක වැඩ ඇරඹීම සඳහා රුපියල් 240,000,000/} (මිලියන 240) ක්‌ වැය කිරීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය හිමි වුණු බව මා ඉතා සතුටින් සඳහන් කරනවා. ඒ ඉලක්‌කය අභිබවා යමින් දෙසැම්බර් මාසයේ 31 වැනිදාට පෙර "උදා ගම්මාන" 38 ක්‌ නොව 50 ක වැඩ අරඹා අවසන් කිරීමට අප මේ වන විට සැළසුම් කර අවසන්. ඒ අනුව එදා මගේ පියාණන් යටතේ ක්‍රියාත්මක වුණු මේ රටේ නිවාස තැනීමේ ස්‌වර්ණමය යුගයේ ක්‍රියාකාරකම් වර්තමානයට ගැළපෙන පරිදි තවදුරටත් නවීකරණය කර, වඩාත් ශක්‌තිමත් ආකාරයෙන් ඉදිරියට ගෙන යැමට අපට හැකි වනවා. දුක්‌ විඳින ජනතාවගේ නාමයෙන්, ඔවුන්ගේ සිත්සතන්වලට සැනසීමක්‌, සිසිලසක්‌ ලැබෙන පරිදි "උදාගම්" සංකල්පය නැවතත් උපත ලබා තිබෙනවා. අපේ රටේ පක්‍ෂ භේදයෙන් තොරව සියලු ජන කොට්‌ඨාස නියෝජනය කරන දේශපාලන නායකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ රටේ හිසට වහලක්‌ නැතිව අව්වට වේලෙමින්, වැස්‌සට තෙමෙමින් ජීවත් වන දුක්‌ විඳින ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඉටු කිරීම උදෙසා නව උදාගම් සංකල්පය හා එකතු වන ලෙසයි. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උදාගම් සංකල්පය දියත් කළේ භේදයකින් තොරවයි. එතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් අපේ රටේ ගම්, නියම් ගම් සිසාරා නැවතත් ගෙවල් හදන යුගය ආරම්භ කරනවා. තමන්ගේම යයි කිව හැකි නිවසක අයිතිය අහිමි පවුල් ලක්‍ෂ 15 කගේ සිහිනය අප සැබෑ කරනවා. ඔවුන් ආර්ථික හා සාමාජයීය වශයෙන් සවිබල ගන්වා ජන සමාජය තුළ ආත්ම ගෞරවයෙන් ජීවත් විය හැකි දෙපයින් නැඟී සිටිය හැකි පිරිසක්‌ බවට පත් කරනවා. මේ රටේ පොදු ජනතාවට අභිමානවත් ජන ජීවිතයක්‌ උරුම කර දීමට අප නිරතුරුව සැදී පැහැදී සිටිනවා. එක්‌රොක්‌ වන්න, ශක්‌තිමත් වන්න. ගමේ සමගිය වර්ධනය කර පොඩි මිනිහාට උදව් කරන්න එකතු වන්න. නව උදාගම් සංකල්පය ඔබේ දෙපතුළ ළඟට රැගෙන ඒමට "ප්‍රේමදාසගේ පුතාට" හැකිවූ බව මා ඉතා නිහතමානීව සිහිපත් කරන්නට කැමතියි.

Share on Google Plus