ෆීල්ඩ් මාර්ෂල් අධිකරණයට?


නීතිපතිවරයාට එරෙහිව නුදුරේදීම තමා අධිකරණයේ නඩු පවරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ (14දා) කොළඹ පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඊට අදාළව නීති ක්‍ෂේත්‍රයේ කණ්ඩායම් කිහිපයක් සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවද ෆොන්සේකා මහතා පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,

“මේ දේවල්වලට වක්‍රාකාරව නීතිපති උදව් කරනවා නම් ඇයි ඔහු අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ? එබැවින් නීතිපති අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. ඒක තමයි අපි දකින මේ රටේ සාධාරණය, යුක්තිය, නීතිය.

ඒ දවස්වල හමුදා සෙබළුන් 10 දෙනෙක් ළඟ තියා ගත්තා කියල මගේ ලේකම් සේනක ද සිල්වා දවස් 440 ක් හිරේ තියාගත්තා. මේ දවස්වලත් ඒ නීතියම ක්‍රියාත්මක වෙනවා නම් රක්නා ලංකා එකේ සෙබළුන් සියයකට වඩා ඡන්ද වැඩවලට ගත්ත එක හොයන්න නැත්තේ නීතිපති නිදාගෙන ඉන්න නිසාද? මහානායක හාමුදුරුවරු හම්බවෙන්න නීතිපති යනවා. 

එහිදී නීතිපති  දෙපාර්තමේන්තුවේ සුභසාධක අංශයේ නිලධාරියෙක් ලවා ප්‍රකාශයක් දෙනවා කරුණු නොදැන මීට පෙර අදහස් පළ කළා කියලා. නීතිපති කොහොමද මාධ්‍යට එහෙම කියවන්නේ. රටේ නීතිය හසුරුවන්න, නීතිය ඉෂ්ට කරන්න, නීතියට ගරු කරන්න ඉන්න පුද්ගලයන් හිතුමතේට විහිළු තහලුකාරයින් වගේ හැසිරෙමින් නීතිය ක්‍රියාත්මක කිරීම අද විහිළුවකට ලක් කරලා. වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම විහිළුවක් බවට පත් කරලා. ඒකේ කිසිම බයක් සැකක් නැතිව හිතුමතේට කටයුතු කරන ක්‍රියාදාමයක් වෙලා. මේ තත්ත්වය තුළ නීතිපතිට එරෙහිව අපි නඩු පවරනවා. ඔහුට එකෙන් ගැලවී සිටීමට බැරි වේවි" යැයි පැවසීය. 

තවත් මාස 2 ක් ගිය විට ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් 20% ක් අවසන් වන බවත් ඔහුගේ ඉදිරි වසර 4 ක පාලන කාලය තුළදී දූෂිතයන්ට දඬුවම් ලබා නොදීමේ සැකයක් ඇති බවත් ෆොන්සේකා මහතා මෙහිදී සඳහන් කළේය.

කීපදෙනෙකුට පමණක් නඩුපවරා තිබුණද පසුගිය රජය කාලයේ පරිදිම දූෂණය තවමත් ක්‍රියාත්මක වන බවත්, රජයේ සේවකයන්ගෙන් 50% - 60% ක පිරිසක් දූෂණ ක්‍රියාවලට සම්බන්ධ අය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඇති චෝදනාවලට දඬුවම් ලබා නොදී වාරණ නියෝග ලබාදීම පිටුපස කිහිප දෙනෙකුගේ උවමනාවන් ක්‍රියාත්මක වන බවද ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට වාරණ නියෝග පනවා තිබෙන බවත්, ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවත් ඒ මහතා අවධාරණය කළේය. 

රණවිරුවන් යුද්ධය සිදුකළ ආකාරය ඇතුළත් කරමින් තමා ග්‍රන්ථයක් රචනා කරන බවත්, ඒ සඳහා සියලු හමුදා ප්‍රධානීන්ගේ දායකත්වය බලාපොරොත්තු වන බවද හෙතෙම පවසා සිටියේය. 

යුද්ධයේ සත්‍ය සිදුවීම් එයට ඇතුළත් කරන බව පැවසූ සරත් ෆොන්සේකා මහතා, ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනිව තරග කරන බවත්, ඒ සඳහා පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරගෙන යන බවද පවසා සිටියේය.

දැනට බන්ධනාගාරවල සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට නිදහස ලබාදිය යුතු බවත් කේ.පී. ට නිදහසේ සිටිය හැකි නම් එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන් රඳවා ගැනීම ඵලක් නොවන බවද ඒ මහතා අවධාරණය කළේය.  


Share on Google Plus