පාර්ලිමේන්තු යන්න රෝසි පොටක් පාදා ගනී.


පසුගිය මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කොට පරාජයට පත්වූ හිටපු කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනි රෝසි සේනානායක මහත්මිය නැවතත් පාර්ලිමේන්තු යාම සඳහා පොටක් පාදාගෙන ඇති බව ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. මනාප නැවත ගණන් කොට ඒ සඳහා අවස්ථාව ලබා ගැනීමට නොහැකි වූ නිසා රෝසි සේනානායක මහත්මිය මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත.

එනම් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන මැද කොළඹ එජාප සංවිධායක මුජිබර් රහුමාන් මහතා ලබන මාර්තු මස පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපතිවරයා ලෙස තරඟ කළ යුතු යැයි රෝසි සේනානායක මහත්මිය මේ වන විට කැම්පේන් කරමින් සිටී. යම් හෙයකින් මුජිබර් රහුමාන් මහතාට එජාප නගරාධිපති අපේක්ෂකත්වය ලැබුනහොත් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා ඊළඟට සුදුසුකම් ලබන්නේ රෝසි සේනානායක මහත්මියයි.

ඒ හේතුවෙන් රෝසි සේනානායක මහත්මිය මේ දිනවල සැමතැනම ප්‍රකාශ කරමින් යන්නේ ‘මුසාට වඩා මුජිබර් හොඳයි' කියාය. නමුත් ඇය මේ වන තෙක් එම අදහස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට නොකීමට පරිස්සම් සහගත වී ඇත්තේ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා දැඩි රනිල්වාදියෙකු බව දන්නා නිසාය. මුසම්මිල් මහතා තමා සතුව තිබූ එජාප මැද කොළඹ සංවිධායක ධූරය මුජිබර් රහුමාන්ට පවරා දුන්නේ ඔහුගේ සහයෝගය නගරාධිපති ධූරය සඳහා ලබා ගැනීමට බව රෝසි සේනානායක මහත්මියට මතක ඇතද ඇය එය ලෙහෙසියෙන්ම අමතක කර දමා ඇත්තේ මුජිබර් ගේ කර පිටින් පාර්ලිමේන්තුවට යාම සඳහාය.

-LNW

Share on Google Plus