විදේශ කටයුතු අමාත්‍යංශයේ ළඟදීම පෙරළියක්.


රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයට පත්කරනු ලැබූ ඉහළ පෙළේ නිලධාරීන් රැසකට නුදුරේදීම ස්ථාන මාරුවී ලබා දීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විදේශ කටයුතු ඇමතිවරයා අතර සාකච්ඡා සිදුවී ඇති බවද පැවසේ. රජපක්ෂ පාලන සමයේදී විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙම නිලධාරීන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිසියාකාරව සිදු නොකිරීම නිසා  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අප්‍රසාදයක් ඇති වූ බවට චෝදනා එල්ල වී ඇත.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබෙන ඉහළ පෙළේ නිලධාරීන් අට දෙනෙකු ඇතුළුව නිලධාරීන් දහතුන් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ. මෙම නිලධාරීන් රැසක් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිශ්චිත රාජකාරි පවා නොමැතිව අධික වැටුප්, නිල රථ ඇතුළු වරප්‍රසාද රැසක් භුක්ති විඳිමින් සිටින බව පැවසේ.

පසුගියදා අග්‍රාමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය සිදු කරනු ලැබුවේද කිසිදු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු සම්බන්ධ කර නොගනිමින් බව වාර්තා විය. රාජපක්ෂ පාලනය තුළ විදේශ කටයුතු අමාත්‍යංශය තුළ සිදුකරනු ලැබූ දේශපාලන පත්වීම් පිළිබඳව එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබීය.

Share on Google Plus