මහින්ද, මෛත්‍රී මරන්න පිල්ලෙයාන්ට කොන්ත්‍රාත්තුවක් දීලා.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවදියේ එකල අමාත්‍යවරයෙකු සහ ශ්‍රීලනිපයේ මහලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා තමාට කොන්ත්‍රාත්තුවක් දුන් බව, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන, නැගෙනහිර පළාතේ හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාපොච්ඡාරණයක් කර තිබේ.

TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම සහ අවි සැපයීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ පසුවන පිල්ලෙයාන් මෙම කරුණු අනාවරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාව නැගෙනහිර පලාතේ හෝ පොලොන්නරුවේදී ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට පුද්ගලිකව පැවසූ බවත් එහෙත් එය නැගෙනහිරදී කළහොත් තමන්ට චෝදනා එල්ල වන බැවින් කොළඹදී එය ඉටු කිරීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිවරයාට පැවසූ විට ‘කොළඹදී කලොත් මාව මාට්ටු වෙනවා' යනුවෙන් තමාට කී බව පිල්ලෙයාන් සඳහන් කර ඇත.

පසුව පැමිණි එකඟතාවයක් මත කොළඹට ආසන්න බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ කාරියක් ලවා මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට තැත් කළද අනූනමයෙන් වත්මන් ජනාධිපතිවරයා ජීවිතය බේරාගත් බව පිල්ලෙයාන් පාපොච්ඡාරණය කර තිබේ.



මෙම සම්පූර්ණ සැලැස්ම පිළිබඳව දැනට අවුරුදු 2 කට පමණ පෙර ප්‍රභල මුස්ලිම් ව්‍යාපාරිකයෙකු හරහා විපක්ෂයට දැනුම් දුන්නද ඔවුන් ඒ පිළිබඳව කිසිවක් සිදුනොකළ බව පිල්ලෙයාන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලි කර ඇති පිල්ලෙයාන් එය සිදුකලේ රාජන් සත්‍යමූර්ති පාර්ලිමේන්තුවට යාමට අවස්ථාවක් දීම සඳහා බවත් නමුත් සත්‍යමූර්තිව ඊට පෙර කොටි සංවිධානය විසින් ඝාතනය කළ බවත් හෙලිකොට ඇත. ජෝශප් පරරාජසිංහම් කොටි සංවිධානයේ රූකඩයක් බව පිල්ලෙයාන් පවසා තිබේ. ඉන්පසු පාර්ලිමේන්තුවට තේරී පත්වූ තවත් එල්ටීටීඊ රූකඩයක් වන බී. අරියේන්ද්‍රන් හමුදා බුද්ධි අංශ විසින් වෙනත් දෙමළ කණ්ඩායම් ලවා ඝාතනය කල බව පිල්ලෙයාන් පාපොච්ඡාරණය කර ඇත.

ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සඳහා T -56 අවි දෙකක් භාවිතා කර ඇති බවත් ඉන් එක වෙඩික්කරුවෙකු ඊට පසු සිදුකරන ලද මෙහෙයුමකදී මිය ගිය බව පිල්ලෙයාන් සඳහන් කර තිබේ. අනෙක් තැනැත්තා මේ වන විට විදේශ ගතව සිටී.

එල්ටීටීඊ සංවිධානය දෙකඩවීමෙන් පසු අනාථ වී ඇති කොටි සංවිධානයේ යටි පෙල ක්‍රියාකාරිකයන් හමුදා බුද්ධි අංශ විසින් මෙහෙයවන ලද බවත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක දෙමළ ජාතික වෙඩික්කරුවන් විසින් සිදුකරන ලද ඝාතන සඳහා සියළු යටිතල පහසුකම් සපයා දෙනු ලැබුවේ හමුදා බුද්ධි අංශ විසින් බව පිල්ලෙයාන් විසින් එකින් එක හෙලිකර තිබේ. එම තොරතුරු මත හමුදා බුද්ධි අංශයේ කීප දෙනෙකු ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීමට නියමිතය.


-LNW

Share on Google Plus