කොළඹ ආනන්ද විදුහල මුරලි සාම කුසලානය රැකගනී.


මුරලි සාම කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බාලක ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත්විය.

ගුණ ජය සතුට පදනම ක්‍රිකට් කණ්ඩායමවල සුහදතාව හා එකමුතුබව වර්ධන කිරීමේ අරමුණින් සිවුවැනි වරට සංවිධාන කළ මේ තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූයේද කොළඹ ආනන්ද විද්‍යාලයයි.

ආනන්ද විදුහල හමුවේ අවසන් තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 24කින් පරාජයට පත්විය.

ඔඩ්ඩුසුඩාන් විද්‍යාලයීය පිටියේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනූ ආනන්ද විදුහල ඕවර 20 තුළදී රැස්කළ ලකුණු 137 හඹාගිය රිච්මන්ඩ් විදුහල් පිලට පන්දු 7ක් ඉතිරිව තිබියදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 113ක් පමණි. තරගයේ විරයා ලෙස ලකුණු 10කට කඩුලු 3ක් දවාගත් ආනන්ද විද්‍යාලයේ දිනුක ජයරත්න සම්මාන ලැබීය.

මීට සමගාමීව පැවැති බාලිකා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නිට්ටඹුව කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා පාසල් ඒකාබද්ධ බාලිකා ක්‍රිකට් කණ්ඩායමට අනුශූරතාව හිමිවිය.

එම තරගයේ පළමු පන්දුවට පහරදුන් පාසල් ඒකාබද්ධ පිල ඕවර 20 තුළදී කඩුලු 7කට ලකුණු 109ක් රැස්කළ අතර ජයග්‍රාහී ඉලක්කය පන්දු 5ක් ඉතිරිව තිබියදී සපුරාගත් නිට්ටඹුව පිලට අහිමිවූයේ කඩුලු 5ක් පමණි.

බාලක අවසන් තරගය

ආනන්ද විද්‍යාලය-137/8 (ඕවර 20) කවිෂ්ක අංජුල 28, දිනුක ජයරත්න 26 (අවිඳු තීක්ෂණ 25/2, කේ.කෙවින් 27/2)

රිච්මන්ඩ් විද්‍යාලය-113 (ඕවර 18.5) ආදිත්‍ය සිරිවර්ධන 36 (දිනුක ජයරත්න 10/3, සුපුන් වරාගොඩ 20/2, කවිෂ්ක අංජුල 32/2, අචිල ඉරංග 34/2)

බාලිකා අවසන් තරගය

පාසල් ඒ.බා. පිල-109/7 (ඕවර 20) පාරමී මහිංසලා 29, හර්ෂිතා මාධවී 25 (සංජිවනී මධුෂිකා 6/2)

නිට්ටඹුව කා.පිල-112/5 (ඕවර 19.1) ශානිකා තරුෂි 25, පබසරා රණබාහු 21 (සචිනි ජයවර්ධන 15/2, සත්‍යා සංදීපනී 20/2)

Share on Google Plus