මොකක්ද මේ ‘Mega polis’?


අපේ රටේ ස්වාභාවික සම්පත් තිරසාර ලෙස සුරකිමින් අපේ රටේ ජනතාවට අදට වඩා ඒකපුද්ගල සතුටක් ඇති සංවර්ධනය වූ රටක් ඇති කිරීම නිලධාරි බලධාරි හා මහජන හිතකාමී සැමගේ යුතුකමකි.

වත්මන් රජය අලුතින් පිහිටුවූ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් මේ මහ යුතුකම ඉටුකර ජනතාවට උපරිම පහසුකම් ලබා දීමට සුවිශේෂ සැලසුම් ක්‍රියාවට නංවමින් පවතී.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ඇමැති පාඨලි චම්පික රණවක මහතා මේ වැඩපිළ‍ිවෙළ ක්‍රියාත්මක කරයි.

බස්නාහිර පළාත ප්‍රධාන සංවර්ධන කලාප 6 කට වෙන් කිරීම රටේ ප්‍රධාන නගර 7 ක් උපාය මාර්ගික සැලසුම් සහගත නාගරික කේන්ද්‍රස්ථාන ලෙසත් බස්නාහිර පළාතේ පිහිටි උප නගර 15 ක් උප නගර කේන්ද්‍රස්ථාන ලෙස තිරසාර සංවර්ධනයකට ලක් කිර‍ීම මෙහි ප්‍රධාන අරමුණකි.

පසුගිය සමයේ රටේ ප්‍රධාන නගරවල නව ගොඩනැඟිලි නව මාර්ග නව සේවා ස්ථාන ඉදිවූවත් ඒ නගරවලට යන එන අයට පදිංචි අයට ලැබුණු පහසුකම් ඉතා අඩු ය. කොළඹ පිළිබඳව ගත්තොත් කොළඹට එක් දිනකට යන එන ප්‍රමාණය ලක්ෂ 10 කි.

නමුත් මේ අය වාහන තදබදය කුණු කසළ මැද පැමිණ තම වුවමනාවන් ඉටු කරගැනීම දින සති ගණන් කොළඹට යති එති. ඒ සමඟම කොළඹ නගරයේ පදිංචි අයට ද නගරයේ පවතින වාහන තදබදය කුණු කසළ බැහැර කිරීමේ අවිධිමත් බව නිසා ඉමහත් පීඩාවලට ලක්ව සිටිති.

ඒ පිරිස ලක්ෂ 7.5 කට වැඩිය. මේ සියල්ලට හේතුව පසුගිය කාලයේ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල මහ ගොඩනැඟිලි මහාමාර්ග උද්‍යාන ඉදි වුවත් වාහන තදබදයට ජනතාවගේ ප්‍රශ්න ඉක්මනින් විසඳීමේ ගැටලුවලට විසඳුම් දීමට කටයුතු නොකිරීමයි. අද කොළඹට කිලෝමීටර් 25 ක් දුර සිට උදේ හවස කොළඹට ඒමට යාමට පැය 4 – 5 ක් ගතවේ.

නව මෙගා පොලිස් MEGA POLIS සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කෙරෙන්නේ කොළඹ ඇතුළු රටේ ප්‍රධාන නගර හයක් සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ වාහන තදබදයට කුණු කසල ගැටලුවට විසඳුම් දෙන බලශක්තිය පිරිමසින පහසුකම් හා නව තාක්ෂණයෙන් හෙබි නගර බවට පත් කරන බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විශේෂයෙන් මහ නගරවලට යන එන මහ නගරවල ජීවත්වෙන ජනතාවගේ හා සංචාරක හා ව්‍යාපාරික ජනතාවගේ ඒකපුද්ගල සතුට වැඩි කරන ස්ථාන බවට මහ නගර සකස්කිරීම මේ වැඩසටහනේ තවත් අරමුණකි. ඔවුන්ට මාර්ග තදබදය නැතිව කසළ ගඳ නැතිව තම කාර්ය ඉටු කර ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණකි.

සමස්ත ශ්‍රී ලංකාව වශයෙන් ගත් කල රටේ සංවර්ධනය පිළිබඳ භෞතික සැලැස්මද මේ ලබන දෙසැම්බර් මාසයට පෙර යාවත්කාලීනවේ. ඒ අනුව ආසියානු අධිවේගී මාර්ගයටත් අන්තර් ආසියානු දුම්රිය මාර්ගයටත් අපේ රට මන්නාරම හරහා සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.

මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ අති‍රේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසන පරිදි මේ නව වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරය ප්‍රධාන කලාප 6 ක් යටතේ තිරසාර සංවර්ධනයකට ලක්කෙරේ.‍

ඊට අමතරව ගාල්ල, යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන නගර ද කොළඹ නගරයේ තිබෙන උපරිම පහසුකම් ලැබෙන පරිදි මහජන හිතකාමී සැලසුම් සහගත නගර කේන්ද්‍ර ලෙස සංවර්ධනය කෙරෙන බව ද මාධව වෛද්‍යරත්න මහතා පෙන්වා දෙයි. පසුව මන්නාරම කුරුණෑගල නගර ද මේ සැලසුමට එක්වේ.

කොළඹ පහසුකම් සියල්ල ඒ නගරවල ඇති කෙරේ. මීට අමතරව බස්නාහිර පළාතේ ඇති හොරණ, ගම්පහ, මීගමුව, මිනුවන්ගොඩ, අවිස්සාවේල්ල, හෝමාගම, කොට්ටාව, පිළියන්දල, කඩවත, කඩුවෙල, රත්මලාන, මාලබේ, මොරටුව, මතුගම වැනි නගර ද උප නගර කේන්ද්‍ර ලෙස සංවර්ධනය කිරීමට ද අපේක්ෂිත ය.

රජයේ මේ වැඩපිළිවෙළ යටතේ මේ සියලු නගර බිහිවන්නේ ‘සුහුරු’ නගර ලෙස ය. සුහුරු නගර ලෙස හැඳින්වෙන්නේ තොරතුරු තාක්ෂණය උපයෝගි කරගෙන ක්‍රියාවන් හා සේවාවන් කාර්යක්ෂම ලෙස තහවුරු කෙරෙන නාගරික තදබදය අඩු කසළ කළමනාකරණ වැඩපිළිවෙළ ඇති බලශක්තිය පිරිමසින උපක්‍රම සහිත නාගරික කේන්ද්‍රස්ථානවල ය.

මේ සැලැස්ම යටතේ ඉදිවන ප්‍රධාන සුහුරු නගර සංකීර්ණය ඉදිවන්නේ බස්නාහිර පළාතේ ය.

අද අපේ ජනතාව බස්නාහිර පළාත ඇතුළත මෙන් ම කොළඹ නගරය ඇතුළත තම අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කරන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ කටයුතු කරති. ඉන් රටේ ජනගහනයෙන් දස ලක්ෂ 5.8 ක් බස්නාහිර පළාත ඇතුළත ජීවත්වෙති. මේ ජනගහනය 2030 වනවිට දස ලක්ෂ 8 ක් පමණ වනු ඇත. මේ නිසා තවත් ගැටලු උග්‍රවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙයට ප්‍රධාන හේතුව රට ඇතුළත සම්පත් හොඳ රෝහල්, හොඳ පාසල්, හොඳ සාප්පු පිහිටුවීමේ අක්‍රමවත් බවයි. ඒවා වැඩිපුර කොළඹට සීමා වී ඇත. දැනට කොළඹ තිබෙන හොඳ රෝහල් හොඳ පාසල් නව තාක්ෂණය සහිත බැංකුවල සේවය ලබාගන්නට පැමිණෙන පුද්ගලයන් ගණන ඉදිරි වසර 10 දී ලක්ෂ 15 දක්වා වැඩි වීමට ඉඩ ඇත.

මේ සියලු ගැටලු වලට විසඳුම් ලෙසත් ජනතාව කොළඹට බස්නාහිරට සංකේන්ද්‍රණය වීම වැළැක්වීමට නව මහ නගර කේන්ද්‍රස්ථානවල හා උප නගර කේන්ද්‍රස්ථානවල ඉ‍හළම මට්ටමේ පාසල් රෝහල් බැංකු නවීන තාක්ෂණය සහිත සාප්පු සංකීර්ණ ගුවන් තොටුපළ ආදිය ඉදිකිරීම නව වැඩසටහනේ අරමුණ වී තිබේ.

කොළඹ නගරයට පමණක් දිනකට පිට පළාත්වලින් එන දස ලක්ෂයක පමණ පිරිසකගෙන් අවශ්‍යතා අතිවිශාලය. මේ නිසා කොළඹ ප්‍රමුඛ බස්නාහිර අගනගරවලත් මාර්ග තදබදය අධිකය.

කසළ කළමනාකරණය පිළි‍වෙළක් නොමැත. ජීවනෝපාය පිළිබඳව සමාජ සුබසාධනය පිළිබඳව විශාල ප්‍රශ්න තිබේ. කොළඹ නගරය හා අවට පසුගිය කාලයේ මහ ගොඩනැඟිලි ඉදිවුව ද මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන කොළඹට එන යන හා කොළඹ සිටින ජනතාවගේ සිත් සතන් තුළ සතුටක් ඇති කිරීමට ඒවා ඉවහල් වී නැත.

උදේ රැකියාවට එනවිට ආපසු යන විට පාසල් අවසන් වන වෙලාවට මරදානට බොරැල්ලට නුගේගොඩට ගියොත් මාර්ග තදබදය නිසා තරමක කෝපයක් ද ඇතිවේ. නගරයේ කසළ කොලොන්නාව ගද ගස්සමින් ඇත. රජයේ කාර්යාල වැඩි ගණනක් බොරැල්ල කොටුව පිටකොටුව අවට කේන්ද්‍ර ගතවී ඇත. මේ නිසා ද තදබදය වැඩිවී තිබේ.

මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයමින් වත්මන් රජය බස්නාහිර පළාතට මෙගා පොලිස් නව සැලැස්ම ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටී.

ඒ අනුව මුලින් ම මුළු බස්නාහිර පළාතම සුවිශේෂ කලාප හයකට වෙන් කරනු ලැබේ.

ඒ අනුව මුල්ම කලාපය වරාය නගරයයි. එය මෝදර මට්ටක්කුලියේ සිට වැල්ලවත්ත ප්‍රදේශය දක්වා ඉදිවේ. ගුවන් නගර කලාපයට මිනුවන්ගොඩ, කටුනායක, මීගමුව, යන ප්‍රදේශ එක්වෙනු ඇත. බස්නාහිර අනෙක් කලාපය වන්නේ තාක්ෂණික කලාපය යි. හෝමාගම, මාලබේ, අතුරුගිරිය ප්‍රදේශ ඒ කලාපයට අයිති වේ.

පිටත වටරවුම් මාර්ග ප්‍රදේශය කඩවත කෙරවලපිටිය, කඩුවෙල, කොට්ටාව එක් වන ප්‍රදේශ නව පරිපාලන නගර කලාපය ලෙසට සංවර්ධනය කිරීමට නව සැලැස්ම අනුව නම් කර ඇත. කොළඹට සංකේන්ද්‍රගතවී ඇති පරිපාලනයට සම්බන්ධ ආයතන සියල්ල මේ ප්‍රදේශයට ගෙන ඒමට යෝජනා වී තිබේ.‍

මෙම මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවෙන්නේ ‘බස්නාහිර කලාපීය මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟිනි.

බස්නාහිර පළාතේ සංචාරක කලාපය ගාලු මුවදොර, වැල්ලවත්ත, ගල්කිස්ස ප්‍රදේශ නම් කිරීමට යෝජිත වේ. ඒ සමඟම අවිස්සාවේල්ල, පාදුක්ක, හංවැල්ල ආදි ප්‍රදේශ වැවිලි කලාපය ලෙස කේන්ද්‍රගත කෙරේ.

පරිසරය සුරැකිමින් මේ සැලැසුම්වල විශේෂ අංගයකි. අතීතයේ සිදුවුණු සංවර්ධන කටයුතු සිදුකර ඇත්තේ පරිසර සාධකය අමතක කරමිනි. මේ නිසා ජල ගැලීම් කණ්ඩි කඩා වැටීම් බහුලව සිදුවී තිබේ.‍ ඒ අනුව බස්නාහිර පළාතේ ජෛව විවිධත්වය සුරැකීමට ද මේ සැලැස්මෙන් යෝජනා කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත - බදුරලිය - මතුගම ප්‍රදේශ පාරිසරික කලාපය ලෙස සංරක්ෂණය කෙරේ.

මේ කලාප ඒ ඒ විෂයානුබද්ධව දියුණු කරන අතර එකිනෙක අතර යටිතල සම්බන්ධතා ද දියුණු කිරීමට ද සැලසුම් කර ඇත. මේ කලාප අතර ප්‍රවාහන පහසුකම් ඇති කිරීමට පුළුවන. මොනෝ රේල් අධිවේගී මාර්ග හා කසළ කළමනාකරණයට ඒකාබද්ධ විසඳුම් මේ මඟින් ලබාගත හැකි වේ.

පසුගිය කාලයේ නාගරික පැල්පත් ප්‍රශ්නය විසඳීමට මහා තට්ටු ගොඩනැඟිලි නාගරික නිවාස යෝජනා ක්‍රම ඉදි වුවත් එහි පදිංචි කළ ජනතාවගේ ජීවත්වීමේ රටාවට බාධා එල්ල විය.‍ ඒ නිසා මේ නව නගර සැලසුම්වලදී යම් යම් ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට යවන ජනතාවට නිවාස ලබාදීමේදී ප්‍රජා වාස්තු විද්‍යාව අනුව එම කටයුතු සිදු කරනු ලැබේ.

මේ යටතේ ඉදිවන නව නගරවල දුප්පත් ජනතාව නගා සිටුවීම හා ඔවුන්ට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ‘දිවි සරු පුරවර’ ලෙසත් මහ නගරවල කසළ කළමනාකරණ වැඩපිළිවෙළ ‘සුපසන් නුවර’ ලෙසත්, මාවතේ සිටින යාචකයන් බල්ලන් හා ගවයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ ‘මහ මඟ මිතුරෝ’ වැඩපිළිවෙළ ලෙස ද ක්‍රියාවට නැංවෙනු ඇත. මේ සඳහා විද්වත් මණ්ඩලයක පූර්ණ උපදෙස් ලබාගෙන පාඨලී චම්පික ඇමැතිවරයාගේ මෙහෙයවීම මත සැලසුම් සකස් කරනු ඇත.

අපේ රටේ අග නගර සංවර්ධනයට විවිධ මෙගා සැලසුම් සකස් කරන මේ අවධියේ ම ජගත් මහ නගර දින සැමරුම් ද යෙදී තිබේ. ඔක්තෝබර් 31 දිනට යෙදුණු මේ දිනයේ තේමාව වූයේ යහපත් නගරයක් යහපත් ජීවිතයක්’ යන්නයි. 2015 ජගත් මහ නගර දින තේමාව වන්නේ ‘සහජීවනය සඳහා නිමැයුමක්’ යන්නයි. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසන පරිදි අපේ නව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධනයට පාදක වී ඇති සුහුරු නගර සැලසුම් ද මේ තේමාවන්ට අනුරූපී ලෙස සැකසී ඇත.

ජාතික ‍ෙභෟතික සම්පත් දෙපාර්තමේන්තුව ද මේ නගර සැලසුම් කටයුතුවලදී මහා මෙහෙයක් ඉටු කරනු ලබයි. එම දෙපාර්තමේන්තුවට අනුව නාගරික සැලසුම් කරණයෙන් බිහිවන නගර සුහුරු නගර, සංයුක්ත නගර, නව නාගරික නගර හරිත නගර හා ජීවත්විය හැකි නගර ලෙස වර්ග කළ හැකි ය.

අප මුලින් පැවසූ සුහුරු නගර ඉදිකිරීම්වල දී නිවාස හා ප්‍රවාහන සේවාවන් සමඟ රැකියා ස්ථාන, සාප්පු සංකීර්ණ හා පාසල් සම්බන්ධ කරමින් නාගරික හා ග්‍රාමීය ජනාවාස ඇති කිරීම සිදුකෙරේ.

සංයුක්ත නගර යනු අධි නේවාසික ඝනත්වයක් සමඟ විවිධ ඉඩම් පරිහරණයන් මිශ්‍රව පවතින, පයින් ගමන් කිරීම හා බයිසිකල් භාවිතය ප්‍රවර්ධනය කෙරෙන, අවම බලශක්ති පරිභෝජනයක් හා දූෂණය අවම නගර ඇති කිරීමයි.

නව නාගරිකයන්හිදී සංයුක්තව පිහිටි, විවිධත්වයන් සහිත, මිශ්‍ර භාවිතයන් මෙන් ම පයින් ගමන් කිරීමේ පහසුකම් සහිත හා ඒ ඒ පහසුකම් වඩාත් ඒකාබද්ධ ලෙස සම්බන්ධ කිරීමෙන් අංග සම්පූර්ණ ජනාවාස ඇති කිරීම, ප්‍රවර්ධනය හා වැඩි දියුණු කිරීම සිදුවේ.

හරිත නගරවලදී නාගරික ප්‍රදේශවල බලශක්ති හා ජල පරිභෝජනය සහ කැළි කසළ හා දූෂණයන් අවම කර තිරසාරත්වය වැඩි දියුණු කරමින් ඉදිවූ නාගරික ප්‍රදේශ වනාන්තර, තණබිම, වනතීර වැනි හරිත ප්‍රදේශ හා ජල මූලාශ්‍ර සමඟ සම්බන්ධව ක්‍රියාත්මකවීමත්, එමගින් පොදු පහසුකම් මෙන් ම විනෝදාස්වාද හා අධ්‍යාත්මික ප්‍රතිලාභ ලබාදීමත් සිදුවේ‍.

බලශක්තියෙන් තොරව නගර ක්‍රියාත්මක විය නොහැකි ය. සූර්ය සුළඟ හා මුහුදු තරග ආදිය අමිලවූත්, ශ්‍රී ලංකාවට යෝග්‍ය වූත් විකල්ප බලශක්ති මූලාශ්‍ර වේ. ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව ප්‍රධාන ගංගා 103 කින් සමන්විත ශ්‍රී ලංකාවේ ජල පහසුකම් ඉහළ මට්ටමක පවතී. කෙසේ වුව ද, නාගරික වර්ධනයන්, දේශගුණික විපර්යාස හා ජල දූෂණය නිසා නුදුරු අනාගතයේදීම අපට ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇත. මේ නිසා ප්‍රතිචක්‍රීයකරණය හා නැවත භාවිතාවට ගැනීම මඟින් සම්පත් තිරසාර ලෙස පරිහරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.

පරිසරය ආරක්ෂා කිරීම, ස්වාභාවික විපත්වලින් මානව ජනාවාස ආරක්ෂා කිරීම, තුලනාත්මක කලාපීය වර්ධනයක් සහ සංවර්ධන අවස්ථා ඇතිකිරීම, අධි නාගරික කලාප හා නගර සඳහා පහසුකම් ඇතිකිරීම, ගෝලීය අවස්ථා ළඟාකර ගැනීම, ආර්ථික වර්ධනය සවිබල ගැන්වීම, සමාජ සමඟිය තහවුරු කිරීම හා භෞතික සංවර්ධනයට මාර්ගෝපදේශ සැපයීම සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ජාතික භෞතික සැලැස්ම සකස් කර ඇත.

ජාතික භෞතික සැලැස්මෙන් අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීම සඳහා මෙම සැලැස්ම තුළ අන්තර්ගත අංග අතර මධ්‍යම අධිසංවේදී ප්‍රදේශය, අධි සංවේදී වෙරළ ප්‍රදේශ, අධි නාගරික කලාප, මහ නගර ග්‍රාමීය ජනාවාස හා ආරක්ෂිත ප‍්‍රදේශ ජාලය ප්‍රධානවේ.

මීට අමතරව පූජා භූමි, වනාන්තර කලාප, නාය යෑමට තුඩු දෙන ප්‍රදේශ, ජනතාව පදිංචි කිරීමට සුදුසු ප්‍රදේශ ද 2011 -2030 භෞතික සැලැස්ම යටතේ හඳුනා ගෙන තිබේ. ජාතික භෞතික සැලසුම් දෙපාර්ත‍මේන්තුව මධ්‍යම කඳුකරය හා මුළුමහත් වෙරළබඩ තීරුව අධිසංවේදී පාරිසරික කලාප ලෙස හඳුනාගෙන ඇති අතර මෙයින් මධ්‍යම කඳුකර ප්‍රදේශය පාරිසරික වශයෙන් වඩාත් බලපෑමට ලක්වූ ප්‍රදේශය ලෙස සඳහන් කළ හැකි ය.

මෙම දෙපාර්තමේන්තුව සිදුකළ අධ්‍යයනයට අනුව මීටර් 300 සමෝච්ඡ රේඛාවට ඉහළ ප්‍රදේශය හා ඊට අයත් ප්‍රත්‍යන්ත ප්‍රදේශ මධ්‍ය අධි සංවේදී කලාපය ලෙසත් හඳුනාගෙන ඇත‍. මීට නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක ද, බදුල්ල, රත්නපුර, මාතලේ, මොණරාගල, මාතර, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ ද මීට අයත් වේ. වෙරළබඩ අධිසංවේදී පාරිසරික කලාපයට ශ්‍රී ලංකාවට වටා පිහිටා ඇති කි.මී. 1340 දිග වෙරළ තීරයම අයත් වේ.

මධ්‍යම අධි සංවේදී පාරිසරික කලාපය අතිශය සංකීර්ණ වූ පරිසර පද්ධතීන්ගෙන් සමන්විත අතර එම කලාපය තුළ විවිධ වූ භූ විෂමතා කලාප, පාංශු කොටස්, විවිධ සත්ත්ව හා ශාක වර්ග මෙන් ම විවිධත්වයෙන් යුත් දේශගුණික කලාප යානාදියෙන් සමන්විත ය. මේ කලාපය ප්‍රධාන ගංගා ආරම්භ වන කලාපය වන අතර ජල පෝෂණය හා භූගත ජල මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය මෙම කලාපය මඟින් සකසනු ලබන බව සඳහන් කළ යුතු ය.

වත්මන් රජයේ නව මහ නගර සංවර්ධන සැලසුම් බස්නාහිර සංවර්ධන සැලසුම් හා නව ජාතික භෞතික සැලසුම් මඟින් රටට අත්‍යවශ්‍ය මෙම අධි සංවේදී පාරිසරික කලාප සුරැකීමට හා ඒවා වෙන්කර පවත්වාගෙන යාමට නව වැඩසටහන් සකස්කර තිබේ.

ශ්‍රී ලංකාව දූපතක් වන බැවින් කාලගුණික වෙනස්වීම් සමඟ සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දිවයින වටා ඇති වෙරළ තීරයට ඉතා අයහපත් බලපෑම් එල්ල වනු ඇත. සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙරළ තීරය ජලයෙන් යටවිය හැකි අතර වෙරළ ඛාදනය තීව්‍ර වීම, ආසන්න ඉඩම් ලවනීකරණය වීම, වෙරළාශ්‍රිත ජලගැලීම් සිදු වීම හේතුවෙන් වෙරලාශ්‍රිතව ඇති නගර, ජනාවාස කෘෂි බිම්, මාර්ග හා දුම්රිය මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් යනාදිය විනාශයට පත්වීම සිදුවිය හැකි ය.

මෙයට දිගුකාලීන විසඳුමක් ලෙස, වෙරළ ඇතුළු අනාරක්ෂිත හා පාරිසරික සංවේදී ප්‍රදේශවල ජීවත් වන ජනතාව සුරක්ෂිත වූත් පහසුකම් සහිත වූත් ප්‍රදේශවලට විතැන් කිරීමට යෝජනා කෙරේ. මේ සඳහා දැනටමත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ජාතික භෞතික සැලැස්ම තුළ නාගරික හා ග්‍රාමීය කලාපයන් හඳුනාගෙන ඇති අතර එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.

මේ භෞතික සැලසුම යටතේ නැ‍ඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ප්‍රධාන නගර ලෙස සංවර්ධනය කෙරේ. ඊට අමතරව දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පොතුවිල්, එරාවුර්, ඔළුවිල් නගර ද උප නගර ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ය.

ඒ සමඟම ජාතික භෞතික සැලැස්ම අනුව දැනට යෝජිත අධිවේගී මාර්ගවලට අමතරව කහතුඩුව රත්නපුර අධිවේගී මාර්ගය හම්බන්තොට මන්නාරම අධිවේගී මාර්ගය හම්බන්තොට, මඩකලපුව අධිවේගී මාර්ග ද ඉදිවනු ඇත. ඒ සමඟම නව දුම්රිය මාර්ග 5 ක් ද ඉදිකිරීමට යෝජිත ය. කොළඹ - මාතර දුම්රිය මාර්ගය හම්බන්තොට, මොනරාගල ඔලුවිල් හරහා ත්‍රිකුණාමලයටත් පසුව එය ගල්ඔය හා අම්පාර දක්වාත් දීර්ඝ කිරීමට සැලසුම්කර ඇත. ඒ සමඟම කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගයක් ද පලාවි - මහව දුම්රිය මාර්ගයක් ද ඉදිකෙරෙනු ඇත.

මාතලේ සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවල ඉහළ ප්‍රමිතියේ ගුවන් තොටුපළ දෙකක් පිහිටුවීම ද නව ‍ෙභෟතික සැලසුම මඟින් යෝජනා කර තිබේ. ඌව පළාතේ බදුල්ල අග නගරය පුළුල් ලෙස සංවර්ධනයටත් මහියංගණය පදියතලාව බිබිල සංවර්ධන ත්‍රිකෝණයක් ලෙස දියුණු කිරීමටත් යෝජිතය. සබරගමුව පළාතේ කෑගල්ල, රත්නපුර, ඇඹිලිපිටිය ප්‍රධාන නගර ලෙසත් කහවත්ත, බලන්ගොඩ, මාවනැල්ල නව නගර කේන්ද්‍ර ලෙසත් සංවර්ධනය කෙරෙනු ඇත.

මේ අනුව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධනය සඳහා වූ මෙගා පොලිස් සැලැස්මත් භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ජාතික භෞතික සැලැස්මක් සමඟ ඒකාබද්ධවී ඉදිරි වසර 15 සඳහා රටේ සියලු ප්‍රදේශ තිරසාර ලෙස සුහුරු නගර ලෙස සංවර්ධනය කිරීම මෙම සමස්ත නගර සංවර්ධන වැඩපිළිවෙළේ අරමුණ වේ.‍ එයට හැකි පමණින් උදව් උපකාර ලබාදීම රටේ දියුණුව පතන සියලු දෙනාගේ යුතුකමක් බව අපිත් අවධාරණය කරමු.

(මෙම ලිපිය සම්පාදනයේදී තොරතුරු ලබාදුන් මහ නගර හා බස්නාහිර පළාත් නගර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතාටත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවටත් ස්තුතිවන්ත වෙමි.)

නිහාල් පී. අබේසිංහ
-Silumina

Share on Google Plus