FCIDයේ මහින්දගේ ගෝලයෙක්.


මූල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් FCID වෙත දිනපතා කැඳවන පුද්ගලයින්ගේ ලැයිස්තුව උදෑසනම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතට පත්වන්නේ කෙසේදැයි මේ වන විට පොලිසියේ ඉහළ නිලධාරීන්ට විශාල ගැටළුවක් ව පවතින බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම ලැයිස්තුව පොලිසියේම ඉහළම පුද්ගලයෙකු හරහා හිටපු ජනාධිපතිවරයාට ලැබෙන බව පොලිසියේ ඉහළ නිලධාරීන් අතර රාවයක් පවතී.

දිනපතා මෙම ලැයිස්තුව ලැබීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ජනාධිපති නීතිඥ  කාලිංග ඉන්දතිස්ස ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් සමග අදාළ පුද්ගලයන්ගේ වතගොත හා ඔවුන්ගේ ප්‍රකාශවලින් සිදුවිය හැකි අගතිය පිළිබඳව පුරෝකතනයක යෙදෙන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඉන්පසුව කාලිංග ඉන්දතිස්ස නීතිඥ තුමා සිදුකරනු ලබන්නේ එම ලැයිස්තුවේ ඇති පුද්ගලයන්ට කතා කොට ඔවුන් අනවශ්‍ය ආකාරයට බිය වද්දා ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 25 ක් වත් රැගෙන තමාව හමුවන ලෙස පැවසීමයි. කාලිංගගේ මෙම මගෝඩි ක්‍රියාව මේ වන විට නීතිඥවරුන්ගේ තදබල විවේචනයට ලක්වී තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාශයේ විමර්ශන කටයුතු පිළිබඳව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා දැඩි අවධානයකින් පසුවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන FCID ට කැඳවූ දිනයේ ඔහු FCID නිලධාරීන්ට නියෝග කොට ඇත්තේ සජින් වාස්ගෙන් කටඋත්තරයක් ලබාගෙන වහාම මුදාහරින ලෙසයි. නමුත් ඊට පටහැනිව FCID නිලධාරීන් සජින් වාස් ගුණවර්ධනව රිමාන්ඩ් භාරයට පත්කිරීම පිළිබඳව පොලිස්පතිවරයා මේ වන විටත් FCID නිලධාරීන් සමග දැඩි අමනාපයකින් පසුවේ. මූල්‍ය අපරාධ කොට්ඨාශය අනීතික එකක් කියා විසිරුවා හරින ලෙස ඉල්ලන මන්ත්‍රීවරුන්ට පොලිස්පතිවරයාගේ සහාය එළිපිටම ලැබී තිබේ.

පොලිස්පතිවරයා සිහින දකිමින් සිටින්නේ තම නිල කාලය තුල නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක් ඇතිවනු දැකීමයි. අගුණුකොල පැලැස්සේ පිස්තෝල සිද්ධිය සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා CID ට කැඳවා කටඋත්තර ලබාගත් සහකාර පොලිස් අධිකාරී ආරියපාල පොලිස්පතිවරයාගේ නියෝගයෙන් ස්ථානමාරුවීමක් ලද අතර නැවතත් රජයට හිතවත් නීතිඥයින් කිහිපදෙනෙකු මාර්ගයෙන් ඔහුට එම ස්ථානමාරුව අවලංගු කර ගැනීමට හැකිවිය.

FCID හා CID විමර්ශණ සඳහා පොලිස්පතිවරයා ආශිර්වාදයක් වනු වෙනුවට ‘ඇණයක්' වී ඇති බව පොලිසියේ ඉහල නිලධාරීන්ගේ මතයයි.

Share on Google Plus