ඉස්සර පාර්ලිමේන්තුව කියන දේ අනුමත කරන රබර් මුද්‍රාවක් වුණා - අජිත්.


"ගරු අග‍්‍රාමාත්‍යතුමා පැහැදිළිව සඳහන් කළා, පාර්ලිමේන්තුව නැවතත් ශක්තිමත් කරනවා කියලා. පසුගිය කාලේ පාර්ලිමේන්තුව විධායක බලයට යටවෙලා, රබර් සීල් එකක් පමණක් බවට පත්වෙලා තිබුණා. මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය කරන කියන දේ අනුමත කරන, මුද්‍රා තබන තැනක් පමණක් බවට වසර ගණනාවක් මේ පාර්ලිමේන්තුව පත්වෙලා තිබුණා. නමුත් නැවත වරක් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන, ජනතාවගේ නියෝජිතයන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය කියන භේද නොමැතිව තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සක‍්‍රීයව දායක වියහැකි ක‍්‍රියාදාමයක් ඇති තැනක් බවට පාර්ලිමේන්තුව පත් කරනවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළකළේ, පසුගියදා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ පැවති, ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයේ වැඩ ආරම්භ කිරිමේ අවස්ථාව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ...,
"නව රජයේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා ලෙස මා පත්කිරීම විශාල සතුටක්. ජනතාව විශාල බලාපොරත්තු ඇතිවයි නව රජය පත් කළේ. පාර්ලිමේන්තුවට විශාල වගකීමක් තියෙනවා ජනතා බලාපෙරොත්තු අනුව කටයුතු කරන්න. මේ රජයේ වැඩපළිවෙල වඩාත් කාර්යක්ෂමව ගෙනයන්න, ආණ්ඩු පක්ෂයේ කටයුතු වලදී කාර්ය මණ්ඩලයට නායකත්වය දෙමින් සහාය වන්න, මෙම ධූරය තුළින් මට හොඳ අවස්ථාවක් ලැබුණේ. අග‍්‍රාමාත්‍යතුමා මා කෙරෙහි තැබූ විශ්වාසය ඉතා විශේෂ දෙයක්. ඒ පිළිබඳ මා සතුටු වෙනවා. මේක විශාල වගකීමක්. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියේජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දරන වගකීම් අතරතුර මේ ලැබුණු තනතුර මට ලැබුණූ වරප‍්‍රසාදයක් ලෙස සලකන අතර රටට සේවය කරන්න මෙය හොඳ අවස්ථාවක් කරගන්නවා.

1931 ඩොනමොර් ආණ්ඩුක‍්‍රමයට සමානව විධායක කාරක සභා ක‍්‍රමයට සමාන ක‍්‍රමයක් ඇතිකරලා කාරක සභා 19 ක් හරහා මේ රටේ ආණ්ඩුකරණයට ඉදිරියට ගෙනයන්න අග‍්‍රාමාත්‍යතුමාගේ දර්ශනයට අනුව දියුණු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ආණ්ඩුවේ ආධිපත්‍යයට යටවුණ එකක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 දෙනාගේම බලය, අදහස් තීරණ ක‍්‍රියාත්මක කරන, සැබෑ මහජන මතය නියෝජනය කරන, බලවත්වූ පරමාධිපත්‍ය බලය ශක්තිමත් කරන පාර්ලිමේන්තුවක් බවට පත්කරන්න වර්තමාන ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යතුමා අදහස් කරලා තියෙනවා. ඒ ක‍්‍රියාවලියට සහාය වන්නට අවශ්‍ය ශක්තිය ලබාදීම මා වෙත පැවරී තිබෙන විශේෂ වගකිමක්. ඒ වගකිම ඉතාමත් ඉහළින් ඉෂ්ඨ කරන්න මා කැප වෙනවා" යැයි පැවසීය.

Share on Google Plus