"හා හා හොරේ දැනුණා"


විමල් වීරවංශව කටුනායක ගුවන් තොටුපොළේදී ප්‍රශ්න කොට පසුව අත්අඩංගුවට ගැනීම ගැන රනිල් හා ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශ දිහා බලන විට යූ.ඇන්.පී.කාරයන්ට තරු නොපෙනුණා නම් පුදුමය. රනිල් ප්‍රකාශ කර තිබුණේ කෙසේ හෝ විමල්ට විදේශ ගතවීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන බවය. විමල් ගුවන් තොටුපොළේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ මාධ්‍යයට කතා කළ විටදී රනිල්ගේ එම ප්‍රකාශයට එරෙහිව වචනයක්වත් කියා තිබුණේ නැත. විමල්ට ඇප ලැබී නිදහස් වීමෙන් පසුවත් රනිල් කළ ප්‍රකාශය ගැන විමල් වචනයක්වත් කීවේ නැත. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය උසාවියෙන් නිදහස් කළ දින රනිල් උදවු කළා නේද යැයි මාධ්‍යවේදියෙක් අසද්දී විමල් කීවේ උදවු කළ තරම මෙයින් පේන බවය. හැබැයි විමල්ට ගුවන් ගමන් බලපත්‍රය දීමට තමාගේ විරෝධයක් නැති බව ප්‍රකාශ කොට ඇත්තේ රහස් පොලිසිය ය. රහස් පොලිසිය කියා ඇත්තේ කොන්දේසි මත ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කරන මෙන්ය. වුවමනා නම් ගුවන් ගමන් බලපත්‍රය නිදහස් නොකරන ලෙස රහස් පොලිසියට කිව හැකිව තිබිණි. එසේ වූවා නම් ඔහුට ගුවන් ගමන් බලපත්‍රය හිමි වන්නේ නැත. අනෙක අත්අඩංගුවට ගත් දිනයේ ඔහුට ඇප දීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා නම් ඇප හිමි වන්නෙත් නැත. ශ්‍රී ල.නි.ප.යේම ප්‍රබලයන් කියන්නෙත්් අවලංගු වූ බලපත්‍රයකින් ඔහු විදේශ ගතවීමට ගත් උත්සාහයට දින 28ක් ඔහුව අත්අඩංගුවේ තබා ගත යුතු බවය.

"ඒ කියන්නේ රනිල් යටින් විමල්ට උදවු කළා කියන එක ඇත්ත නේද?"

ඇත්තටම විමල්ගේ ගුවන් ගමන් බලපත්‍ර ප්‍රශ්නය ඇදල විමල්ට ගැහුවේ අජිත් පෙරේරා පමණි. යූ.ඇන්.පී.යෙන් වෙන කිසිවෙක් මේ ප්‍රශ්නය ඇද්දේ නැත.

"විමල් යූ.ඇන්.පී.යේ පරම හතුරෙක් නම් විමල්ට ගහන්න ආයුධය දෙයියෝ යූ.ඇන්.පී.ය අතට දීලා තියෙන වෙලාවේ ඇයි ගහන්නේ නැත්තේ?"

දේශපාලනයේ හය හතර තේරෙන අයත් අහන්නේ එම ප්‍රශ්නය ය. විමල්ගේ බිරියට හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර චෝදනාවක් තිබේ. විමල්ට ඥාතීන්ට ගෙවල් දීම පිළිබඳ චෝදනාවක් තිබේ. මෙවැනි චෝදනා කප්පරක් තියාගෙනත් ආණ්ඩුව විමල්ටවත් ඔහුගේ බිරියටවත් අත තියන්නේ නැත්තේ ඇයිද යන ප්‍රශ්නය යූ.ඇන්.පී.කාරයෝම අසති.

අනෙක විමල් විදේශ ගත වෙන්න ගියේත් මහ පුදුම වෙලාවකය. ජිනීවාවලට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ එකට එක් වී විහාර මහාදේවි උද්‍යානයේ විරෝධතා රැස්වීමක් පවත්වා ජිනීවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා යකා නටල අවසානයේ එය ලැබී විවාදය යන විට ඔහු විදේශ ගතවීමට යෑම තේරුම් ගත නොහැක්කකි. ඔහුගේ පක්ෂය පවසන්නේ ජිනීවා ගැන දේශන මාලාවකට ඔහු විදේශ ගත වෙන බවය. ජිනීවා ප්‍රශ්නයෙන් රටම රත් කරන්න පන්දම් අල්ලන්න ඕනෑ වෙලාවක මාසයක් යුරෝපයේ දේශන තියල අහවල් දෙයක් කරන්න දැයි කවුරු හෝ ඇසුවත් එහි වරදක් නැත. යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන දේශන තිබ්බා කියලා රට තුළ ජිනීවා විරෝධය ඇවිළෙන්නේ නැත. හරි නම් ජිනීවා යෝජනාවට එරෙහිව කොළඹත් පාර්ලිමේන්තුව තුළත් විරෝධතාව දියත් කරන වේලාවක වහාම සැලැසුම් කළ යුත්තේ එය රට වටා ගෙන යන්නටය. අනෙක ආණ්ඩු විරෝධී සටන් පාඨයක් උණු උණුවේම ජනතාව අතරට අරන් ගිහින් පසුව එයට විරාමයක් දී විදේශ ගත වෙලා මාසයකින් ඇවිත් යළි එම සටන් පාඨයට පණ දෙන්න අමාරුය. ජිනීවා යෝජනාවට එරෙහිව විපක්ෂයේ විරෝධතා රැලිය තිබුණු සතියේම ජිනීවා යෝජනාව සම්බන්ධ විවාදය පැවැත්විණි. බ්‍රහස්පතින්දා විමල්ට කතාවක් නොදුන්නා යැයි බොරලුගොඩ සිංහයාගේ පුතා දිනේෂ් සෙංකෝලය උස්සන්න ගියේය. පසුව පරීක්ෂා කර බලද්දී විමල්ට කතාවක් තිබී ඇත. දිනේෂ් තමන්ට වැරැදුණු බව පිළිගෙන කනගාටුව ප්‍රකාශ කළේ එම නිසාය. ඇත්ත කතාව නම් විමල් පසු දින විදේශ ගතවීමට නියමිතව සිටි නිසා විමල්ට කලින් දින කතාව කරන්න අවශ්‍ය විය. දිනේෂ් සෙංකෝලය උස්සන්න ගියේ විමල්ට එදින කතාව කරල පසු දින විදේශ ගත වෙන්න අවස්ථාව සලසන්නය. තමන්ට පසු දින විදේශ ගතවීමට අවශ්‍ය නිසා එදිනට කතාව කරන්න විමල් දිනේෂ්ට කිව්වාද දන්නේ නැත. බොරලුගොඩ සිංහයාගේ පුතා හිකනැල්ලෙක් වෙලා යැයි විජේදාස කීවේ නිකම්ම නොවේ. හැබැයි විවාදයේ උණුසුම් දිනය වූයේ පසු දිනය වන අවසාන දිනය ය.

"එදවස මඟහැර විමල් විදේශ ගතවෙන්න හිතුවේ ඇයි?"

විමල්ට එදවස විදේශ ගතවෙන්න කොයිතරම් හදිස්සියක් තියෙනවාද කියනවා නම් විමල්ගේ මන්ත්‍රිවරු කියන විදියට ගුවන් තොටුපළට ගෙනිහින් තියෙන්නේ අවලංගු වූ ගුවන් ගමන් බලපත්‍රය ය. එපමණක් නොව එය අවලංගු එකක් බව පෙන්වා දීමෙන් පසු ඔහු හිමිදිරි පාන්දර පොලිසියට ගිහින් අලුත් ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න පැමිණිල්ලක් කරන්නේත් උදේ 7ට අලුත් ගුවන් ගමන් බලපතක් ගත්තෙත්් යන්න තියෙන පුදුම හදිස්සිය නිසාය. ලංකාවේ සාමාන්‍ය පුරවැසියකුට උදේ 7ට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන දෙපාර්තමේන්තුවට ගොස් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගත නොහැකිය. අනෙක ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක් නැති වුණාය කියා පොලිසියේ පැමිණිල්ලක් දමපු ගුවන් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවෙන්න හැදුවා නම් ඔහුව හංවඩු ගහන්නේ අපරාධකාරයෙක් ලෙසය. දමිළ හෝ මුස්ලිම් ජාතිකයෙක් නම් හංවඩු ගහන්නේ ත්‍රස්තවාදියෙක් ලෙසය. එල්.ටී.ටී.ඊ. හෝ කේ.පී.ට එරෙහි ප්‍රධාන චෝදනාව ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක් ළඟ තබා ගැනීමයි. ඉන්ටර්පෝල් ලැයිස්තුවේ ඉන්නා ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය සැකකරුවන්ට එරෙහි ප්‍රධානතම චෝදනාව ගුවන් ගමන් බලපත්‍ර දෙක තුනකින් පෙනී සිටීමය. රට රටවලට යෑමය. හැබැයි රනිල්ගේ ආණ්ඩුවට නම් විමල්ගේ එහෙම වරදක් පේන්න නැත. ඇප දුන්නේත් පසුව ගුවන් ගමන් බලපත්‍රය දුන්නේත් ඒ නිසාය.

"ඇයි විමල්ට රට ගිහින් මාසයක් ඉන්න මේ තරම් හදිසිය."

"ඇයි රනිල් විමල්ව රට යවන්න ඔය තරම් මහන්සි ගත්තේ"

මිනිස්සු අහන්නේ මේ වාගේ ප්‍රශ්නය. ලංකාවේ දේශපාලනඥයන් විදේශ රටවල ලාංකිකයන්ගේ ආරාධනයෙන් පක්ෂ සංවිධාන හමු වෙන්න යෑම, දේශන පවත්වන්න යෑම, මෙරට ගායක ගායිකාවන් විදේශ රටවල ලාංකිකයන්ට ප්‍රසංග පවත්වන්න යනවා වගේ වැඩක්ය. ප්‍රසංගයක් නරඹන්න විදේශ ගත ලාංකිකයන් දහස් ගණනින් ගියත් පක්ෂ සංවිධානය කරන දේශන අහන්න යන්නේ සියයකටත් වඩා අඩු ගණනකි. මෙරට දේශපාලනඥයන් මෙන්ම කලාකරුවන්ද මෙවැනි අවස්ථා හොලිඩේ බවට පත් කර ගනී.

"ජිනීවාවලින් රට බෙදන්න යනවා නම් රණවිරුවන්ව දං ගෙඩියට යවනවා නම් මේ යුරෝපයට ගිහින් හොලිඩේ ගත කරන්න වෙලාවක්ද?"

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි විමල් කියන්නේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති දේශප්‍රේමියෙකි. සාමාන්‍යයෙන් රටක ජාතියක පුරවැසි අනන්‍යතාව තහවුරු කරන්නේ ජාතික හැඳුනුම්පතෙන්ය. තමා ලාංකිකයකු යැයි ආඩම්බරයෙන් කිව හැක්කේ ජාතික හැඳුනුම්පත පෙන්වාය. විදේශ රටකදී තම රටේ ජාතියේ අනන්‍යතාව තහවුරු කරන්නේ විදේශ ගමන් බලපත්‍රයෙනි. ඕනෑම දේශ සීමාවකදී තම ජාතිය රට පෙන්වන්නේ ගුවන් ගමන් බලපත්‍රයෙනි. මේ දෙකටම වංචා කරන, නිගරු කරන මිනිහෙක් රට ජාතිය බේරා ගන්නා දේශප්‍රේමියකු වන්නේ කෙසේ දැයි දන්නේ නම් නැත.


-උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Share on Google Plus