ජනතාව අතට සල්ලි ලැබෙන ආර්ථිකයක් හදනවා - සාගල රත්නායක. (interview)


මේ ආණ්ඩුව ටික දෙනකු අතට සල්ලි ගිය පසුගිය පාලනය වෙනුවට ජනතාව අතට සල්ලි යන ආර්ථිකයක් නිර්මාණය කරන බවත් තම පක්ෂය මැතිවරණයේදී ජනතාවට වූ පොරොන්දු කිසිවක් අමතක කර නැති බවත් දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කියයි‍. වත්මන් දේශපාලනය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කෙළේය. එ‍හිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට දුන් පිළිතුරු මෙසේ ය.


  • ආණ්ඩුව පැත්තෙන් විපක්ෂයට වැටුණ දේශපාලකයන් කීපදෙනෙක් දැන් කියන්නේ මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ කියල නේද? ඔබ කොහොමද මේ විවේචන දකින්නේ?

අපි දන්නව මේ විදියේ කර්කශ විවේචන මේ ආණ්ඩුව වෙත එල්ල කරන්න බව. මෙතන තියන ලොකුම ප්‍රශ්නය පසුගිය රජය කිසියම් ම ප්‍රතිලාභයක් නොලැබෙන ව්‍යාපෘතිවල රට ණය කරන කෝටි ප්‍රකෝටි ගණන් ඉහළ පොලියට ගත් මුදල් හිර කිරීම.

දැන් ඔය මත්තල ගුවන් තොටුපොළ ගත්තොත් දවසකට මගීන් දෙන්නෙක් විතරයි යන්නේ. එහෙම වෙනකොට ඒ සඳහා ගත් ඩොලර් මිලියන ගණනක් වූ අතිවිශාල මුදල මහජන මුදලින් ආපසු ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇතිවෙලා තියෙනවා.

රටට දෙවැනි ගුවන් තොටුපොළක් අවශ්‍ය බව ඇත්ත‍. අපිත් යෝජනා කළා එවැනි ව්‍යාපෘතියක් වැල්ලවායේ කරන්න. අපි අදහස් කළේ දෙවැනි ගුවන් තොටුපොළක් හදන කොට ගුවන් මගීන් එන්නේ නැතිනම් ඒකට ප්‍රතිලාභයක් තියෙන්න ඕන. වැල්ලවායේ කළා නම් ඇල්ල වැල්ලවාය හරහා නුවරඑළි පැතිවලින් මල් වාගේ දේවල් හුඟක් ගේන්න පුළුවන්. එ

තනින් ගුවන් ගත කරන්න පුළුවන් හෝටල්වලට ළඟ පාත රටවල්වලට. මාලදිවයින වගේ ‍රටවල්වල හෝටල්වලට. ඉතින් ඒක නිර්මාණශීලීව කළේ නැහැ. ඒකෙන් හානියක් වෙලා තියෙන්නේ. දැන් අපිට කඩා වැටුණු ආර්ථිකයක් බාර අරගෙන හදන්න වෙලා තියෙනවා.

විශේෂයෙන් ඊළඟ ප්‍රශ්නය 2015 රටවල් හුඟක් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න පටන් ගත්තා. චීනය වගේ රටවල් පවා ආර්ථික පසුබෑමකට ලක් වෙලා තියෙනවා. අද අපට තියෙන අභියෝගය විශාලයි. ජනතාවට වුණු පොරොන්දු හුඟක් තියෙනවා මැතිවරණ ක‍ාලේ.


  • ආණ්ඩුව එජාපය මාස 60 කින් අලුත් රටක් හදන්න ජනතාවට පොරොන්දු වුණා...?

ඔව්. අපි ‍ඒ පොරොන්දු ඉටු කරනවා.

අපේ ආණ්ඩුව අරන් මාස දෙකයිනේ‍. නොවැම්බර් 5 වැනිදා අගමැතිතුමා ආර්ථික සංවර්ධන සැලැස්ම ගැන ප්‍රතිපත්ති ප්‍රකාශය කරනවා. ඒ හැම දෙයක් මඟින් අපේ ඉලක්කය වන්නේ මේ රට සංවර්ධනය කරමින් රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීම. රැකියා දස ලක්ෂය අපි නිර්මාණය කරන්න යන්නේ ආයෝජකයන් ගෙනල්ලා කර්මාන්ත ඇති කිරීම වගේ ම සේවා අංශය දියුණු කරල ඉදිරියට සංවර්ධන ක්‍රියා මාර්ගයක් මඟින් අපි ජනතාවට ඇති කරපු බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට කරමින් ආයෝජන ඇද ගැනීම හරහා සංවර්ධන ගමනකට අපි ඉක්මනින් ප්‍රවිෂ්ට වෙනවා.


  • සංවර්ධන අංශයේ මේ තියෙන නොනගතය ඉක්මනින් අවසන් වෙනව කියලයි ඔබ කියන්නේ?

ඇත්තටම මේ තත්ත්වය මෙදා අය වැය ඉදිරිපත් කිරීමත් සමඟ ලොකු වෙනසකට භාජනය වේවි. අපේ රටේ දකින්න තියෙන දෙයක් තමයි යූඇන්පී රජයන් යටතේ ‍ෙගන යන සංවර්ධන වැඩපිළිවෙළ ශ්‍රී ලංකා ආණ්ඩුවක් බලයට ආවම වෙනත් මාර්ගයක් ඔස්සේ ගෙනියනවා.

එජාප ආණ්ඩුවක් ආව ආයෙත් අර සමාජ සුබසාධන ප්‍රතිපත්තියට ගෙනියන්න වෙනවා. පසුගිය රජය කළේ සුළු පිරිසකට තමන්ගේ ගැත්තන් පිරිසකට සියලු ප්‍රතිලාභ ලබාදෙන ආකාරයට රට ණය කරන ‍එකනේ කෙරුවේ. ඒ ප්‍රතිපත්තිය වෙනස් කරල සුළු පිරිසක් වෙනුවට හැමෝම අතේ සල්ලි තියන කාලයක් උදා කරන සංවර්ධන වැඩපිළිවෙළක් අපි රටේ ක්‍රියාත්මක කරනවා‍.

ඒ වැඩපිළිවෙළට යන්න ආයෙත් කාලයක් යනවා. මුල හිටන් පදනම හදාගෙන අඩිතාලම දාගෙන එන්න ඕන. මූලධර්ම හදාගෙන. දැන් මෛත්‍රීපාල සිරිසේන ‍ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි එකතු වෙලා මේ අලුත්ම දේශපාලන සංස්කෘතිය ඇති කළේ.

අර තිබුණ ටික දෙනෙක් අතට සල්ලි යන රටාව නැති කරන්න. අද ප්‍රධාන පක්ෂ දෙක එජාපයයි ශ්‍රීලනිපයයි ජාතික ආණ්ඩුවක ඉන්න එක ක්‍රිකට් මැච් එක දිනපු පිල ඒ දිනපු කුසලානය ඊළඟට ආපු පිලත් එක්ක බෙදා ගත්ත වගේ වැඩක්නේ. ඒ කැපවීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රීලනිපය, එක්සත් ජාතික පක්ෂය එකට වැඩ කරන්න ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නේ රටට ස්ථාවර කාලයක් ස්ථාවර යුගයක් උදා කරන්න. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන හොඳ ප්‍රතිපත්ති රටට හඳුන්වාදීල ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව ක්‍රියා කරනවා.

සංහිඳියාව ඇති කිරීමත් ඉතාම අත්‍යවශ්‍යයයි. අද ඒ සංහිඳියාව ඇති කරන්න මේ ආණ්ඩුව ක්‍රියා කරන බව කවුරුත් වගේ පිළිගන්නවනේ. සිංගප්ප‍ුරුව වගේ රටවල් අද බැබළෙන්නේ මහා සංවර්ධනයක් රටට දිනාගන්නේ එවැනි සංහිඳියා වැඩපිළිවෙළක් හරහා. ජාති ආගම් කියල බේද නැහැ. රට ඉස්සරහට තියා ගෙන හැමෝම කැපවීමෙන් ඒ සංවර්ධන ගමන යනවා. හැමෝටම සාධාරණව ප්‍රතිලාභ බෙදී යන ක්‍රමයක් ඔවුන් සංවර්ධනයේ දී අනුගමනය කරනවා. ඒ රාමුව තුළ සමහරු තරග කරල වැඩිපුර ඉස්සරහට යයි. හැබැයි හැමෝටම අවස්ථාව තියෙනවා.


  • විපක්ෂය රුපියල අවප්‍රමාණ වීම ගැන කතා කරනවා.‍ ඒක රජයේ මූල්‍ය කළමනාකරණයේ වැරැද්දක් බවයි ඔවුන් කියන්නේ?

ගොඩක් බලවත් රටවල් කඩා වැටුණා. චීනයෙත් මේ පසුබෑම වුණා. ඒ රටේ මුදලත් අව ප්‍රමාණය වුණා. රුපියල අව ප්‍රමාණය වීම එජාප ආණ්ඩුවේ වරදින් වුණ දෙයක් නෙවෙයි. පසුගිය රජය කාලේ රුපියලේ අගය පාලනය කරල තිබුණා. බලෙන් අල්ලගෙන තිබුණේ. ඒක රටකට හොඳ දෙයක් නෙවෙයි. දියුණු වන ආර්ථිකයකට යහපත් ක්‍රියාවලියක් නෙවෙයි. අපි ඒක රුපියල ස්වාධීනව පාවෙන්න දුන්නා. ඒක දැන් මාකට් එකේ නියම තැන හොයාගෙන එතන දැන් තියනවා.

දැන් අපේ අ‍ායෝජන වැඩිවෙලා අපනයන වැඩිවෙන කොට අපේ රුපියලේ අගය වැඩිවෙන්න පටන් ගන්නවා‍. එජාප ආණ්ඩු කාලවල අපිට රුපියලේ අගය වඩා ස්ථාවර කරගන්න පුළුවන් වුණ බව ඉතිහාසය ගත්තම පේනවා. ආනයන අපනයන අතර තරගයෙන් තමයි රුපියලේ අගය කොහොමත් තීරණය වන්නේ. හැබැයි රුපියල අවප්‍රමාණය වන තරමට අපනයන කරුවෝ නම් කැමැතියි.

ඔවුන් අතට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වන නිසා. හැබැයි ආනයන මිල වැඩිවීම නිසා එතනදී ජීවන වියදම වැඩිවෙනවා. එතනදී බලපාන්නේ ගෙවුම් ශේෂයේ හා ‍වෙළෙඳ ශේෂයේ ප්‍රශ්න ආනයන අපනයනවලට වඩා වැඩිවීම නිසා. අපනයන අපට වැඩි කර ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ම අපි ඒක කරනවා. එතකොට ‍ඔය කියන ආර්ථික ප්‍රශ්න හුඟක් විසදෙනවාට කිසිම සැකයක් නැහැ.


  • හැමෝටම කාරයක් දෙන්න කතා කළත් මෝටර් රථ මිලත් ඉහළ ගියා...?

කාර් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ මේ කාලේ වෙනසක් වෙලා නෙවෙයි අය වැයෙන් ඩියුටිය වැඩි වෙයි කියන කට කතාව උඩ. ඩියුටි අඩුවෙනවද වැඩිවෙනවද කියල අපිට අය වැය එනකම් කියන්න බැහැ. නමුත් ආර්ථිකය යම් තැනකට අරගෙන මේ හැ‍මදේම අපට බලන්න වෙනවා.

අපි කැමැති දේ තමයි හැමෝටම වාහනයක් තියනව දකින්න. අපි කැමැතියි ඒ වාහනත් අපේ ම රටේ නිෂ්පාදනය වෙනව නම්. අද වාහනයක් ගේනව කියන්නේ රටේ විදේශ විනිමය වැයවීමක් වගේ ම ඒක එකවරක් නෙවෙයි ඉන්ධන සඳහා දිගටම වැය කරන්නත් වෙනවා.

පරණ වාහන ආවොත් අමතර කොටස් ගේන්නත් වෙනවා. එතකොට මේ ප්‍රතිපත්තිය අපි හරියට හදාගන්න ඕන.‍ අද කොළඹට එන මනුෂ්‍යයෙකුට කිලෝමීටර් 12 ක් එන්න උදේට පැය 1 ½ - 2 ක් යනවා. කොළඹ කිලෝමීටරයක් යන්න පැය ½ ක් යන වෙලාවල් තියෙනවා. අපේ රටේ සැලසුම් මුල් කාලේ සැලසුම් කරන කොට මේ තරම් වාහන තොගයක් දරාගන්න නෙමෙයි ඒව සැලසුම් කරල තියෙන්නේ.

දැන් සිංගප්ප‍ුරු‍ව, මැලේසියාව වගේ රටවල් ගත්තම ඒ ගොල්ලො මාර්ග පුළුල් කරන්න තවත් ඉඩකඩ තියල ති‍යනවා. අපේ එහෙම නැහැ. නගරයේ මාර්ග පද්ධතිය පුළුල් කිරීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපිට වෙන විකල්ප ගැන හිතන්න වෙලා තියෙනවා. මේක අඩු කරන්න මම හිතන්නේ නැහැ කවුරුවත් පෞද්ගලික වාහනවලින් කොළඹ එන්න කැමැති වෙයි කියල. මීට වඩා හොඳ පොදු ප්‍රවාහන සේවයක් බස්, කෝච්චි තියනව නම් බස් වල විතරක් ඕක කරන්නත් බැහැ.

බලන්න වෙනවා කෝචිචි ගැනත්. අපට තාම අන්ඩග්‍රවුන්ඩ් ට්‍රේන් වගේ දේවල් ගැන හිතන්න බැහැ. බිම කණින අධික වියදම් යන වැඩ නිසා. එකක් කරන්න පුළුවන් දේ ගැන අපි හොඳ අධ්‍යයනයක් දැන් කරගෙන යනවා බස්නාහිර මහනගර සැලසුම මඟින්. ඒ විෂය භාර පාඨලී චම්පික රණවක ඇමැතිතුමා‍. දැන් මාස 9 ක් තිස්සේ ඉඳන් ඒ සම්බන්ධව විශේෂඥ කණ්‍ඩායමක් වැඩ කරනවා. හොඳ සැලස්මක් හදල ඉදිරි අවුරුදු පහට විතරක් නෙවෙයි දීර්ඝ කාලීනවත් හිතල හොඳ සැලස්මක් හදල ක්‍රියා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

මේ වෙලාවේ වාහන ගැන දැන් අපට පාලනයක් කරන්න වෙලා තියෙනවා ටික කාලයක්. වාහනයක් හැමෝටම තියන එක අපි හොඳයි කියල පිළිගන්නවා. නමුත් කොළඹ නගරෙට ඇතුළු වෙන එක යම් කිසි පාලනයක් කරන්න වෙලා තියෙනවා.


  • මොකක්ද මේ බංකර කතාව ජනාධිපති මන්දිරේ විතරක් නෙවෙයි අරලිය ගහ මන්දිරෙත් බංකර තියනවා කියල හිටපු ජනාධිපතිවරයා කියනවා...?

අරලියගහ මන්දිරයේ ඔය මාළිගා බංකරයක් මං දන්න විදියට නම් නැහැ. අපි දන්න තරමට චන්ද්‍රිකා මැතිනිය ගෙ කාලෙ හදපු මොකක් හරි බංකරයක් වගේ එකක් තියනව කියල තමයි විශ්වාස කරන්නේ. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වැඩි දියුණු කළාද කියල මං දන්නේ නැහැ. අපි දන්න තරමට එතන ඔය මහ මාළිගාවක් නම් නැහැ.

අපි ඔය බංකර මාළිගා හදන්න යන්නේ නැහැ. අපිට ඕන කරල තියෙන්නේ ජනතාවට මාළිගාවල් හදන්න.


  • ඉදිරියට එන පුංචි ඡන්දයේ දී එක ඇමැති මණ්ඩලයේ ඉන්න ඇමැතිවරුන්ට පක්ෂ දෙකකට බෙදිල තරග කරන්න වෙනව නේද?

කොහොමත් අපි පහුගිය මැතිවරණයත් පක්ෂ දෙකක් විදියට ඉදිරිපත් වෙලා තරග කරල දැන් එකට වැඩ කරනවා. කැබිනට් එක තුළ පාර්ලිමේන්තුව තුළ එකට වැඩ කරනවා. මෙතන ප්‍රශ්න නැහැ. කො‍හොම වුණත් එකම පක්ෂයේ වුණත් කැබිනට් මණ්ඩලය තුළ වාද විවාද තියනවා. රටට කරන්න යන දේ හොඳ ද වඩා හොඳ විකල්පය මොකක්ද කියලා. උදාහරණයක් මගේ අමාත්‍යාංශය මම ඉදිරිපත් කරන යෝජනාව රටට ගැළපෙන යෝජනාවක් ද නැද්ද කියල මට පුළුවන් වෙන්න ඕන ඉදිරිපත් කරල ඒක තහවුරු කරන්න. කැබිනට් මණ්ඩලය රටට වග කියන්න ඕන. අන්න ඒ තත්ත්වය ආරක්ෂා වෙලා තියෙනවා.

විශේෂයෙන් පහුගිය රජය කාලේ කැබිනට් මණ්ඩලයේ තිබුණේ යර්ස් සර් කියන්න වුණ විධායකයට. අද එහෙම එකක් නැහැ. අපි අද සාකච්ඡා කරල පක්ෂ දෙකක් වුණත් ගන්න තීරණ ගැන අපි රටට වග කියනවා. ජනතාවට වග කියනවා. ඉදිරි මැතිවරණය වුණත් ලොකු වෙනසක් නැහැ. පක්ෂ දෙකක් විදියට ඡන්දයට ඉල්ලයි. සමහර විට තුනක් වෙයි. එක කොටසක් ශ්‍රීලනිපයේ ජාතික ආණ්ඩුවට එකතු වෙන්න එන්නෙත් නැහැනේ.

ආණ්ඩුවට එන්නෙත් නැහැනේ. ඒ ගොල්ලෝ පක්ෂ දෙකක් විදියට එයි ද දන්නේ නැහැ. නමුත් රටට ආදරේ කරන ප්‍රධාන පක්ෂ දෙක අපි පොරොන්දු වුණ විදියට ජනතාවට පොරොන්දු වුණ අනාගතය ඇතිකරල දෙන්න වැඩ කරනවා. අපි මැතිවරණයට වෙන් වෙන්ව ඉල්ලුවට අපේ ප්‍රධාන ඉලක්කය අමතක නැහැ. ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අපි පාර්ලිමේන්තුවේ වගේම ප්‍රාදේශීය සභා තුළත් ඡන්දෙන් පස්සේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි.


  • පුංචි ඡන්දයෙන් එජාපයට ඉදිරියට එන්න හැකිවේවි ද?

රටේ ඉතිහාසය බැලුවොත් ප්‍රධාන මැතිවරණය ඉවර වෙලා තියෙන පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණවලින් ජයගන්නේ මහ මැතිවරණය දිනපු පක්ෂයම බව පේනවා. ඒ නිසා එජාපය දිනීම ප්‍රශ්නයක් නැහැ.

අගමැතිතුමයි ජනාධිපතිතුමයි තීරණය කරයි ඡන්දෙන් පස්සෙ ප්‍රාදේශීය සභා තුළ වුණත් කොහොමද කටයුතු කරන්නේ කියලා. එතුමන්ලා දෙන්නා සාකච්ඡා කරල තීරණයක් අරන් අපට යෝජනා කරයි.

ජිනීවා යෝජනා අද මහින්ද මහත්තයත් විවේචනය කිරීම ගැන කියන්නෙ කුමක් ද?

ඇත්තටම අපේ ආණ්ඩුව බලයට ආවේ නැත්නම් තමයි මහින්ද මහත්තයට ප්‍රශ්නය වෙන්නේ. මේ රජය ජනතාවාදී ආණ්ඩුවක් කියන විශ්වාසය තුළ රට තුළ විතරක් නෙවෙයි ජාත්‍යන්තරය තුළත් ගොඩනැඟුණ නිසා ජිනීවා වාර්තාව යහපත් අතට හැරෙන්න පටන් ගත්තා. අපිත් රටක් වශයෙන් රජයක් වශයෙන් ජාත්‍යන්තරයේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මහින්ද මහත්තයට දැන් විදුලි පුටුවට යන ප්‍රශ්න නැහැ.

අපනයන කර්මාන්ත ගැන ඔච්චර කතා කරනවා ජාත්‍යන්තරය තුළ විශ්වාසය නැත්නම් මොනව කළත් වැඩක් නැහැ අපි හදන නිෂ්පාදන ඒ රටවලට යවන්න බැරිනම්. කවුරුත් ගන්නේ නැත්නම්. පසුගිය ආණ්ඩු කාලෙ ඒක වුණානේ. අපිට ජීඑස්පී ප්ලස් සහනය නැති කරල, අපේ මාළු යුරෝපයට යවන එකටත් ඒ රටවල් තහංචි දැම්මනේ. දැන් ඒ යුගය හමාර කරල. ඒ සහන නැවත දිනාගෙන අපනයන ආර්ථිකයක් හදන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. වෙළෙඳපොළ දිනා ගැනීම අපි වගේ රටකට අත්‍යවශ්‍යයි නැතිනම් අපට අනාගතයක් නැහැ.

අපිට අලුත් ආදායම් මාර්ග හොයාගන්න තැනකට අපි යන්න ඕන. ගෙදර තාත්තයි පුතයි ආදායම බෙදාගන්න කියල පවුලේ ආදායම වැඩිවෙන්නෙ නැහැනේ. කරන්න ඕන පවුලට පිටින් ලැබෙන ආදායම වැඩි කරගැනීමයි. රටක වුණත් තත්ත්වය ඒකයි ආදායම් සමානතාවය ඇති කරන්න ඕන වගේ ම රටේ ධනයත් අපනයන වැඩි කිරීමෙන් ගොඩනඟන්න ඕන.

මේ මාර්ගයේ ගිහිල්ලා මිනිස්සුන්ගේ ආදායම් වැඩිකර ගැනීම හරහා ඉතිරි කිරීම් වැඩි කරමින් පිටරටින් ලැබෙන ආයෝජන වැඩිකර ගනිමින් ඒ හරහා තමයි රටේ සමස්ත නිෂ්පාදනය වැඩි කරගනිමින් අපනයන වැඩිකර ගනිමින් මේ සංවර්ධන ගමන යන්න ඕන.

ජිනීවා යෝජනාවල කවුරුවත් අපරාධ කළා කියල නම් කරල නැහැනේ. කාවවත් නම් කරල චෝදනා කරලා නැහැ. අපි නෙමේනෙ පරීක්ෂණ ඉල්ලුවේ පසුගිය රජයනේ පරීක්ෂණ කරනව කියල ජාත්‍යන්තරයට පොරොන්දු වුණෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. අපි කරේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් කරල සාධාරණෙ සමාජයක් හදල අපි ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගෙන යහපත් පාලනයක් ගෙනියනව කියල ඒක කරල තියනවා. අවුරුදු දෙකක් තියනවා අපේ යන්ත්‍රණයකින් අපේ වැඩ පිළිවෙළකින් විශ්වාසය ඇති කරන්න.


  • තේ මිල අඩුවීම ගැන කියන්නෙ කුමක් ද? ඒක ඔබට විතරක් නෙවෙයි ජනතාවටත් දැනෙනවා?

මගේ සාක්කුවට විතරක් දැනෙනවනම් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියන ප්‍රශ්නය හැමෝගෙම සාක්කුවට දැනෙනකොට මටත් ඒක ලොකු ප්‍රශ්නයක් තමයි.

තේ කර්මාන්තය කාලෙන් කාලෙට වැටෙන අවස්ථාවල් තියනවා. මෙදා තියන ප්‍රශ්නය දරුණු ප්‍රශ්නයක් කියල මාත් පිළිගන්නවා. හේතු කීපයක් තියෙනවා. ලෝකයේ නොම්මර එකේ තේ කියල අපේ තේවලට තිබුණ තැනට ප්‍රශ්නයක් ආවා බාල නරක තේ අපේ තේ ලෙස යැවීම නිසා. ඒක දිග කතාවක්.

අපේ තේ වෙළෙඳපොළත් අඩුවුණා. වෙනත් රටවල් ඉස්සරහට ආව. ඒ අතරේ අපේ නිෂ්පාදන මිලත් ටිකක් වැඩිවෙලා. ඒ නිසා තේ මිල වැටුණහම අපිට දැනෙන ප්‍රමාණයත් වැඩිවෙලා. තුන්වැනි කාරණය පොහොර හොඳ නැහැ. මහින්ද චින්තන පොහොර ඇත්තටම වැලිවලට සමාන කරන්නත් පුළුවන්. ඒකෙනුත් නිෂ්පාදනය බාල වුණා.

අනිත් ප්‍රධාන කාරණය පහතරට තේ මිල වැටෙන්න ලොකු හේතුවක් වුණා මැදපෙරදිග අපේ සාම්ප්‍රදායික තේ අපනයන රටවල යුද්ධ ඇතිවුණ නිසා. මෙහෙම වෙනකොට අපේ සාම්ප්‍රදායික වෙළෙඳපොළ නැතිවෙනකොට අපි දැනගන්න ඕන අලුත් වෙළෙඳ පොළවල් හොයන්න.

ඒකත් සිදුවුණේ නැහැ. අපි දීර්ඝ කාලීන වැඩසටහනකට මේ සම්බන්ධයෙන් යන්න වෙනවා. ඒ වැඩ සටහන තුළ අලුත් වෙළෙඳපොළවල් සොයා ගැනීම, පරණ වුණ තේ වගාව නැවත වගාව, වගා ඉඩම් ප්‍රමාණයෙන් කැඩෙන දලු ප්‍රමාණයත් අඩුයි. බාල පොහොර වෙනුවට හොඳ පොහොර යෙදීම නැවත වගාවට ගිහිල්ල වැඩිපුර දලු එන වර්ග හොයාගෙන ඔරොත්තු දෙන ඒව හොයගෙන පර්යේෂණ මට්ටමින් මේ වගාව නංවන්න පියවර ගන්න ඕන.

අපි තේවල අගය එකතු කිරීමක් කොහොම ද කියල බලන්න වෙනවා. අද ලංකාවේ හෝටල්වලත්, සංචාරකයන් වැඩිපුර මිලක් ගෙවන්න කැමැති අද සංචාරකයෝ අහන දෙයක් තමයි කෑම කාබනික ක්‍රමයට ද කියලා.

ඕගනික් ෆුඩ් ද කියල. කුකුළා පවා ඕගනික් ද කියල අහනවා. කුකුළ කෑවෙත් කාබනික ක්‍රමයට හදපු කෑම ද කියලා. ඒ මට්ටමට ලෝකෙ අද ඇවිල්ල. මුළු ලෝකෙම අද කාබනික තේකොළවලට තියන මිල අද ගොඩක් වැඩිවෙලා තියනවා.

අපි ඒ වගේ ක්‍රමවලට යන්න ඕන. අපේ රජය අද තේ මණ්ඩලය වැවිලි කර්මාන්ත ඇමැතිතුමා සමඟ අගමැතිතුමා පෝයදා කතා කළා. දීර්ඝ ලෙස හරි අපි කෙටිකාලීන විසඳුම් දෙන්න ඕන. ජනතාව ජිවත් කරන්න. ඒත් ප්‍රධාන වශයෙන් මේ දීර්ඝ කාලීන සැලැස්මක් හැදෙන්න ඕන. අලුත් වෙළෙඳපොළවල් හොයන්න අර කියපු කාරණා සම්පූර්ණ කරන්න ඒකට රජය උදව් කරන්න කැමැතියි. විෂ පොහොර ද, කාබනික ක්‍රමයට යනව නම් සහතිකය ලබාගන්න කාබනික පොහොර දාල අවුරුදු තුනක් විතර යනවා.

කාබනික පොහොර දාන්න වෙනවා කාබනික මිල නොලබා ‍ගහේ විෂ පිටවෙන්න. සහතික ලැබුණට පස්සේ තමයි අලුත් මිල එන්නේ. ඒ අවුරුදු තුනේ අමාරුයි කුඩා තේ වතු හිමියන්ට. මොකද ගහෙන් එන ඵලදාව අඩුවෙයි කාබනික පොහොරවලට මාරු වුණාම. රජය කැමැතියි ඒ වගේ තේ වගාකරුවන්ට උදවු දෙන වැඩපිළිවෙළකට යන්න.

සහනාධාරයක් දීල කාබනික වගාවක් කරන්න. ඒ වගේම අපිට බලන්න වෙනවා විකල්ප ආර්ථික ක්‍රමත්. දැන් තේ මිල අඩුවෙලා බැරි වෙලාවත් කෝපි වලට වගේ වසංගතයක් තේ වගාවට ඇල්ලුවොත් මොකද කරන්නෙ. දෙණියාය හිනිදුම වගේ ප්‍රදේශවල දැන් අපි බලනව සංචාරක කර්මාන්තය දියුණු කරන්න. ගාල්ල වගේ ප්‍රදේශවල බලනව කුරුඳු වගාවට උදවු කරන්න. විකල්ප ක්‍රම ගැනත් හිතන්න පුළුවන්. කුරුඳු නිෂ්පාදනයත් හුඟාක් දියුණු කරන්න පුළුවන්.

රටේ ලොකු වෙනසක් ඉස්සරහට වෙයි. ඒ විශ්වාසය අපි ජනතාවට දෙනවා. ඒ ඉලක්කයෙන් අපි ඈත්වෙන්නෙ නැහැ.

සංවාද සටහන : සරත් පෙරේරා 
සිළුමිණ

Share on Google Plus