ස්විස් ආයෝජකයින්ට ලංකාවට එන්නැයි රවී ආරාධනා කරයි.


කොළඹ කොටස් වෙළෙඳපොළ හා ස්විස් ඒෂියන් වාණිජ මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද ආයෝජක සමුළුවක් ඊයේ (ඔක්තෝබර් 28) ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවර දී පැවැත්විණි. ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා‘ තේමාව යටතේ පැවති මෙම හමුව සඳහා ස්විස්ටර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක ආයෝජකයෝ රැසක් සහභාගී වී සිටියහ.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, “ශ්‍රී ලංකාව ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙසින් ස්විස් ආයෝජකයින් හට ඉතා වැදගත් ස්ථානයක්. 2015 ජනවාරි මාසයේ දී නව රජය පත් වූ දින පටන් තිරසාර දේශපාලන ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. ඒ තුළින් රටේ ආර්ථික ස්ථායිථාව අත්පත් කර ගැනීමේ අපේ අභිප්‍රායයි“, යැයි පැවසීය.

“ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම තුළින් රටේ මූල්‍ය පද්ධතිය, නීතිය හා සාමය, මානව හිමිකම් යනාදී සෑම අංශයක්ම මේ වන විට නි‍ර්දේශපාලනීකරණය වී තිබෙනවා. මා ඔබට ආරාධනය කර සිටිනවා, එන්න ශ්‍රී ලංකාවට. ඇවිත් ආයෝජනය කරන්න. එය සම්ප්‍රදායික යුරෝපියානු ආයෝජන මාර්ගවලට වඩා ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන බව නිසැකම කිව හැකියි“, යනුවෙන් මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඡායාරූපය – මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සූරිච් ආයෝජක සමුළුව ඇමතූ මොහොත

Share on Google Plus