විප්ලවීය අයවැයක් බලාපොරොත්තු වන්න.


රාජ්‍ය අංශයේ ඒකාධිකාරී ප්‍රවේශයෙන් මිදුණු, තරගකාරී හා සියලු අංශ වෙත සම අවස්ථා ලැබෙන විප්ලවීය අයවැය යෝජනාවලියක් එළඹෙන නොවැම්බර් 20 වැනිදා බලාපොරොත්තු වන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතන ඒකරාශී වූ විශේෂ සංවාද මණ්ඩපයක් අමතමින් අමාත්‍යවරයා ඊයේ (22දා) මෙසේ පවසා සිටියේය.

එමෙන්ම, ඉතිහාසයේ ප්‍රථම වරට පෞද්ගලික අංශයේ සංවර්ධනය ඉලක්ක කරමින් 2016 ජනවාරි 01 වැනිදා සිට මුදල් අමාත්‍යාංශය තුළ එම අංශය වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට නියමිත බවත්, රටේ ආර්ථික ක්ෂේත්‍රය රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටද එකහා සමානව විවෘත වනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

"රටේ බොහෝ ක්ෂේත්‍ර විවෘත විය යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ලබාදුන් පැහැදිලි ජනවරම අනුව අවදානම දරමින්, ආර්ථික අභිවෘද්ධිය ඉදිරියට ගෙනයෑම සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුවිය යුතුයි" යනුවෙන් රවි කරුණානායක මහතා පවසා සිටියේය. 

පෞද්ගලික අංශය, රාජ්‍ය අංශයට අභියෝගයක් ලබාදෙන්නේ නම්, ඒ අභියෝගය දරමින් ඉදිරියට යෑමට පෞද්ගලික අංශයද සූදානම් විය යුතු බව පෙන්වාදුන් අමාත්‍යවරයා, අතීතයේ පැවති දූෂිත හා අලස බව පැතිරුණු රාජ්‍ය අංශය යන මැරුණු අතීතයේ තවදුරටත් ජීවත් නොවිය යුතු බවද අවධාරණය කළේය. මීට අමතරව, රාජ්‍ය අංශයේ යම් දූෂණයක් හෝ වංචාවක් සිදුවන්නේ නම් නොවළහා පෙන්වා දෙමින්, එය නිවැරදි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද අමාත්‍යවරයා පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියේය.

2016 අයවැය සමග රජයේ මෙම නව එළැඹුම, ශ්‍රී ලංකාව විනිවිධභාවයෙන් යුතු සංවර්ධිත ආර්ථිකයක් කරා යනතුරු සිදුකෙරෙන ක්‍රියාවලියක් වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී අවසන් වශයෙන් පවසා සිටියේය.


Share on Google Plus