බිඳුණු සිත් සුවපත් කරමු - අගමැති.


සාමයෙන්, මෛත්‍රීයෙන් සහ දයාවෙන් සියලු ජන කොටස්වලට සාධාරණත්වය ඉටු කැරලීම සඳහාත් ගැටුමට මැදි වූ සියලු පාර්ශ්වයන්ගෙන් බිඳුණු හදවත් හා සිත් සුවපත් කරලීම සඳහාත් රටට ඉදිරියට යාමට ඇති මෙම අවස්ථාවේදී පුද්ගලික වාසි නොබලා අලුත් දේශපාලන ගමනක් යාමට එක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්වුණු ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් වූ කල්තැබීමේ විවාදයට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

රට දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබීම සඳහා සම්ප්‍රදායික පටු දේශපාලනයෙන් මිදී මුලින්ම රට ගැන සිතා කටයුතු කරන ලෙසද අගමැතිවරයා ඉල්ලීය.

යුද්ධය නිම වීමෙන් පසුව යළි ප්‍රතිසංවිධානය ඇති කොට තැළුණු හදවත් සුවපත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම නිසාත්, සමබර විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන නොයාම නිසාත් අප රට ජාත්‍යන්තර වශයෙන් කොන් වන තත්ත්වයකට පත් වූ බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා මේ පසුබිම වශයෙන් රටට ඉදිරියට යාමට නොහැකි හෙයින් දේශීය වශයෙන් සමගිය සහෝදරත්වය ශක්තිමත් කැර මෛත්‍රීය මුල් කැරගත් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් මඟින් බිඳුණු හදවත් සුවපත් කළ යුතු බවද සඳහන් කළේය.

ජාත්‍යන්තර වශයෙන් අප පත්ව සිටි හුදෙකලා තත්ත්වයෙන් මිදී යළිත් ජාත්‍යන්තරයේ විශ්වාසය හා මිත්‍රත්වය දිනා ගත යුතු යැයි පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ජිනීවා යෝජනාවලිය මඟින් ඒ සඳහා අවස්ථාව ලැබී ඇති හෙයින් සියල්ලම එක්වී අපේ රට ඉහළට ඔසවා තැබීම මූලික අරමුණු කර ගනිමින් මේ ව්‍යයාමයට එක් වෙමු යැයිද ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව පිළිබඳව න්‍යාය පත්‍රය අපේ අතට ගැනීමට හැකි වී ඇති මේ අවස්ථාවේ සියලු දෙනාම එකතු වී එය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේදැයි සාකච්ඡා කළ යුතු බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ව්‍යායාමය රටේ ජාතික හා ආගමික සමගිය තහවුරු කරන බිඳුණු හා තැළුණු හදවත් සුවපත් කරවන සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලන ව්‍යායාම ලෙස තමා දකින බව පැවසූ අගමැති වික්‍රමසිංහ මහතා ක්‍රෝධය සහ වෛරය වෙනුවට මෛත්‍රීය හා දයාව පතුරවන ව්‍යායාමට විරුද්ධ වනුයේ මන්ද යැයි ප්‍රශ්න කැර සිටියේය.


Share on Google Plus