ජාවාරමකට සැරෙසෙන ඇමති දෙපළක් ගැන ඔත්තුවක්.


ඉකුත් රජය සමයේ මහා පරිමාණ ජාවාරම්කාර ව්‍යාපාරවල නිරත වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු වත්මන් රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකුට සමීප වී ඔවුන් සමඟ එක්ව නැවතත් එම ජාවාරම්කාර ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම්ව සිටින බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට තොරතුරු ලැබී තිබේ.

කලින් ඇතිකරගෙන තිබූ "ද්විපාර්ශ්වික එකඟතා" මත මේ ව්‍යාපාර කරගෙන යා යුතු බව එහිදී මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කිහිපදෙනා ආණ්ඩුවේ මේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනාට පෙන්වාදී ඒ සඳහා ඔවුන් එකඟ කරවාගෙන ඇති බවටද අගමැතිවරයා වෙත එහිදී තොරතුරු ලැබී ඇත. මේ තොරතුරු ලැබීමත් සමඟ අදාළ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි කෝපයට පත්ව ඇති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් රජය යටතේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට ඉඩ නොතබන බවටත්, කුමන තරාතිරමක අමාත්‍යවරයකු හෝ එය අභියෝගයට ලක් කරන්නේ නම් තරාතිරම නොබලා එම අමාත්‍යවරුන්ට එරෙහිව පියවර ගන්නා බවටත් සඳහන් කර තිබේ.

ඒ අනුව අගමැතිවරයා රජයේ ඉදිරි අය - වැය යෝජනාවලිය හරහා මැති ඇමැතිවරුන් අල්ලාගෙන ව්‍යාපාර කිරීමට එන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ අරමුණු ඉටු නොකිරීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අවධාරණය කොට ඇති බව පැවැසේ. එමෙන්ම "ද්වි පාර්ශ්වික එකඟතා" මත ආණ්ඩුව මඟින් ඉදිරියේදී කරනු ලබන සියලු ව්‍යාපෘති අමාත්‍යවරුන් හරහා සිදුකිරීම අවලංගු කර එය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් වෙත පැවැරීමටද රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කටයුතු යොදා තිබේ.

Share on Google Plus