රාජිතගේ පුතුට එරෙහි නඩුව නිශ්ප්‍රභයි - 'මම ඉන්න තැන සතුටින් ඉන්නවා' දැරිය කියයි.


සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතු බාලවයස්කාර දැරියක පැහැර ගත් බව කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23) නිශ්ප්‍රභ කෙළේය.

පෙත්සම්කරුවන් මහාධිකරණය හමුවේ තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීම නිසා මහාධිකරණය මේ අධිකරණයට යොමු කළ හබයාස්කෝපුස් නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව පවසමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කෙළේය. මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් මහේස්ත්‍රාත්වරයා කරුණු විමසීමේදී ඔහු ඒ බව නොදන්නා බවට අධිකරණය හමුවේ පැවසීය.

වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෝසමක් මගින් මෙම කරුණු අධිකරණයට දන්වා ඇති බවත් තවදුරටත් මෙය විමසීමට හේතුවක් නොමැති බවය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණයෙන් පෙත්සම්කරු‍වන් මෙම නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බැවින් නඩුව නිශ්ප්‍රභ කිරීමට නියෝග කෙළේය.

මම ඉන්න තැන සතුටින් නිදහසේ ඉන්නවා. මට බලපෑම් කරන්න කවුරුත් එහේ නැහැ. තව සති දෙකකින් මාගේ වයස දහඅට සම්පුර්ණ වෙනවා. මාගේ දෙමව්පියන්ගෙන් ජීවිතයට අනතුරක් වේයැයි මට බියක් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු විසින් පැහැරගත් බව කියන දැරිය ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ විවෘත ප්‍රකාශයක් කරමින් සඳහන් කළාය. 

තවද ළමා හා කාන්තා කාර්යංශ‍යේ නිලධාරීන් තමා හමුවීමට පැමිණ ගෙදර යන්න කියා බල කළ බව පැවසූ දැරිය තමා සියදිවි නසාගන්න යන බවට බොරු තොරතුරු දක්වා තිබුණේ යැයි පැවසුවාය.

සිද්ධිය ඊයේ කැඳවූ අවස්ථාවේදී ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ පැවසුවේ නීතිපති උපදෙස් අනුව අපරාධමය කරුණු අනාවරණය නොවන බැවින් වැඩිදුරටත් මෙම නඩුව ගෙන යා නොහැකි බවය.

එම දැනුම් දීමට අනුව වින්දිත දැරිය විවෘත අධිකරණයට කැඳවූ මහේස්ත්‍රාත්වරයා නීතිපති කවර තීරණයක් ගත්තද තමා ඊට බැඳී නොමැති බව සඳහන් කරමින් වින්දිත දැරිය බාලවයස්කාර දැරියක වන බැවින් ඇයට විවෘතව ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන බව පැවැසීය.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත් හමුවට පැමිණ දැරිය සිය නම හා වයස ද ප්‍රකාශ කරමින් තමා සිටින ස්ථානයේ සතුටින් නිදහසේ ඉන්න බවත්, ඔළුව නිදහසේ තබාගෙන අධ්‍යාපන කටයුතු කරන්න අවශ්‍ය සහනයක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් ‍කළේය.

මහේස්ත්‍රාත්වරයා - විසඳුමක් කියන්නේ?

දැරිය - ඉන්න තැන දිගටම ඉන්න ඕනේ. තව සති දෙකකින් මා වැඩිහිටි අයෙක්. මට දෙමව්පියන්ගෙන් ආරක්ෂාව වෙන්න ඕනේ.

මහේස්ත්‍රාත්වරයා - කවර ආකාරයේ ආරක්ෂාවක් ද?

දැරිය - මට බයක් තියෙනවා දෙමව්පියන්‍ මට අනතුරක් කරයි කියලා. දෙමව්පියෝ මට විරුද්ධව ක්‍රියා කරනවා.

මහේස්ත්‍රාත් - දෙමව්පියෝ මටත් විරුද්ධව ප්‍රකාශ නිකුත් කර තිබුණා. ඔබට අධිකරණයෙන් යම් අසාධාරණයක් වුණාද?

දැරිය - අධිකරණ භූමියෙන් පිටතට යන අවස්ථාවේදී කැමරා, වීඩියෝ කරන්න හැදුවා. ඒ හැර වෙන අසාධාරණයක් වුණේ නැහැ.

මහේස්ත්‍රාත් - එදින අධිකරණ භූමිය තුළදී කලබැගෑනියක් වුණානේ?

දැරිය - ඔව් ස්වාමිනි, මට එය දරාගන්න බැරිවුණා. මගේ ඇඳුමෙන් පියා ඇදලා ගත්තා. අධිකරණ භූමියේදී භාරකාරයාට පහර දෙන්න හැදුවා. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැරිය දැනට සිටින ස්ථානයේම සිටීමට අවස්ථාව ලබා දෙමින් නීතිපති උපදෙස් හා දැරියගේ ප්‍රකාශ අනුව නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.

මෙහිදී දෙමව්පියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ, දැරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කසුන් තිලකරත්න මහතා හා වගඋත්තරකරුවන් වෙනුවෙන් නඩරාජා තවරාසා, කැලුම් ඔබේසේකර සමඟ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පෙනී සිටියහ.

Share on Google Plus