පිල්ලෙයාන් රාජපක්ෂ පාලන සමයේ ඝාතන රැසකට සම්බන්ධ බව හෙළිවෙයි.


පසුගිය ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් සමඟ තමන් සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගිය බවත්, ඔවුන්ගේ අනුදැනුම මත ඇතැම් අවස්ථාවලදී ක්‍රියාත්මක වූ බවත් නැ‍ඟෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, මේ වන විට ඔහුගේ නම තවත් පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් ද ඈඳී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජ් රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධ පරීක්ෂණය පිල්ලෙයාන්ගේ නම ඈඳී ඇති අනෙකුත් පරීක්ෂණ වේ.

රවිරාජ් මන්ත්‍රිවරයා ඝාතනය කිරීම සඳහා භාවිතා කළ ගිනි අවිය එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙත ලබා දීමට පිල්ලෙයාන් සම්බන්ධ වූයේ ද යන කරුණ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේය.

එමෙන් ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා ද ගිරිතලේ කඳවුරේදී ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් පසු පිල්ලෙයාන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ නැ‍ඟෙනහිර පළාතේ අප්‍රකට හමුදා කඳවුරක් වෙත ගෙන ගියේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා වන පොලිස් පරීක්ෂණ ද මේ වන විට ක්‍රියාත්මක වෙයි.

මේ අතර තවත් පුද්ගල ඝාතන දෙකක් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ ටී.එම්.වී.පී. පක්ෂයේ ප්‍රබලයෙකු පසුගිය සිකුරාදා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

Share on Google Plus