ජාතියේ පාස්පෝර්ට් වංශය ලියන්නට...


හරමානිස් යනු උපන්ගෙයි නූගතෙක්ය. ඔහු රක්ෂිතයේ ගසක් කැපුවේ ඉනිවැට තදකර හේන රැක ගන්නටය. හරමානිස් දන්න අප්පා මුත්තාගේ කාලේ පටන් කවුරුත් ඉනි කපාගත් තැනින් ඔහු ද ගහ කපා ගත්තේය.

එහෙත් අවාසනාවට ඔහු වන අඩවි නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ අතර කළ වරදට උසාවි යන්නට ද සිදු විය.

උසාවියේ දී විනිසුරු හරමානිස්ගෙන් ඇසුවේ, ‘නීති විරෝධීව ආණ්ඩුවේ කැලේ හොරෙන් ගස් කැපුවේ ඇයි’ කියාය. හරමානිස් බය පක්ෂපාතීව කීවේ, ‘අනේ ස්වාමීනී අප්පා මුත්තා කාලේ පටන් කපපු තැනින් ගහක් බිම දාගත්තා මිස නීතියක් ගැන දන්නේ නෑ’ කියාය. ඒ මොහොතේ විනිසුරු කීවේ, නීතිය නොදැන සිටීම වරදකට නීති ප‍්‍රකාරව වැරැදිකරුවකු නොවීමට සුදුසුකමක් නොවන බවය.

අවසානයේ දඩය ගෙවා හරමානිස් ගෙදර ගියේය. සුද්දාගේ නීතිය ගැන දන්නා ශිෂ්ට සමාජයේ කිසිවෙක් මේ කරුණට අදාළව විනිසුරුට දෝෂාරෝපණය කරන්නේ නැත. හරමානිස් ද ගමට ගිහින් කීවේ ආරච්චිල කීවත් ආයෙනම් ආණ්ඩුවේ ගස් කපනවා තියා බෙහෙතකටවත් කැලේට නොයන බවය. හරමානිස් නූගත් වුව ද අහිංසක ගැමිකම එසේය.

එහෙත් මේ ලියන්නට යන්නේ හරමානිස් තරම්වත් නීතිය නොදැන කටයුතු කළ අයකු පිළිබඳය. මෙසේ කීම සාධාරණ වන්නේ හරමානිස් මෙන්ම මොහු ද නීතිය නොදැන සිටි නිසා පමණය. ඒ හැරෙන්නට නීතිය පිළිගෙන කට වහගෙන ගෙදර ගිය හරමානිස් අසලින්වත් මොහුව තියන්නට හැකිදැයි අප ලියන්නේ නැත. ඒ ගැන තීන්දුව මේ කියවීමෙන් පසුව ඔබට බාරය.

හරමානිස්ට සම කරගන්න බැරි තැනට වැටුණු මොහු අන් කිසිවකු නොව විමල් වීරවංශ නම් වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාය; රාජපක්ෂගේ රාජ සභාවේ නිවාස ඇමැතිය; ඊටත් පෙර ජවිපෙ ප‍්‍රචාරක ලේකම් සහෝදරයාය.

මේ ලියන්නට යන්නේ කුමක්දැයි දැනටමත් ඔබට වැටහෙන්නට පුළුවන. එහෙත් ඉත්තා සඟවා මේ මොහොතේ හුංගන් කෑමොර දෙමින් සිටින්නේ දේශය බේරාගන්න ගිය මහා සංචාරය ගැන ධීර වීර වචනවල දවටා ඒ විරාමයෙන් ගැලවුණු රෙදි යළිත් ඇඳ ගන්නටය. එපමණක් නොව යහපාලන නඩය ද මෙවැනි සිදුවීම්වල දී අලූ‍ත් පාරෙන් පරණ කඩයටම යන්න හදන බවක් දක්නට ලැබිණ. එනිසාම දන්නා කතාවක නොදන්නා ටික පූර්වාපර සන්ධි ගළපා ලියන්නට අපට සිදුව ඇත.

2008 අපේ‍්‍රල් 08 වනදා විමල් වීරවංශ නම් ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකතුමා පක්ෂයෙන් ඉවත් වන්නේ පක්ෂයට කළ කැපකිරීම් නිසා තමන්ට සීගිරියවත් බලන්නට යන්න නොහැකි වූ බව කියාය. ඊට වසර හතකටත් මාස හයකට පසුව විමල් මන්ත‍්‍රීතුමා පසුගිය 23 වනදා අලූයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට යන්නේ ඩුබායි හරහා යුරෝපීය සංචාරයක නිරත වන්නටය. ඒ ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ මැයෙන් දේශන මාලාවක් සිදු කරන්නටය. මේ විදෙස් ගමන් බලපත‍්‍ර අලකලංචිය සිදු වන්නේ එසේ ගිය ගමනේ දී ය.

ඒ ඊට පෙර අසාදු ලේඛනයක් බවට පත් කළ විදෙස් ගමන් බලපත‍්‍රයකට වීසා ලබා ගෙන රට යාමට උත්සාහ කළ අවස්ථාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව වැළක් වූ නිසාය. එනම් 2011 වසරේ ලබා ගත් විදෙස් ගමන් බලපත‍්‍රය නැති වූ බවට 2012 වසරේ දී එවකට විමල් ඇමැතිතුමා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර ඒ වෙනුවෙන් නව බලපත‍්‍රයක් එම වසරේදීම ලබාගෙන ඇත. එහෙත් මේ අලකලංචිය ආරම්භ වන්නේ 2011 වසරේ දී නැති වූ බව පවසා අසාදු කළ විදෙස් ගමන් බලපත‍්‍රයට වීසා ලබා ගෙන පැමිණීම හරහාය.

මේ අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් මන්ත‍්‍රීවරයාට පවසන්නේ වීසා ලබාගෙන තිබෙන විදෙස් ගමන් බලපත‍්‍රය අසාදු (අවලංගු) කර ඇති බැවින් වලංගු ගුවන් ගමන් බලපත‍්‍රය රැගෙන එන ලෙසය. අප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ මොහොතේ මන්ත‍්‍රීවරයා හැසිරී ඇත්තේ ”තොලොංචි වෙලා පලයන් සිරිසේන” පන්නයටය.

එහෙත් ඒ මොහොතේ දී මන්ත‍්‍රීවරයා වීසා ලබා ගෙන තිබුණේ නැති වූ බවට නිල වශයෙන් පැමිණිලි කළ විදෙස් ගමන් බලපත‍්‍රයට බවත් ඒ වෙනුවට වලංගු විදෙස් බලපත‍්‍රය රැගෙන එන ලෙසත් ආගමන විගමන නිලධාරීන් දැනුම් දී ඇත. මන්ත‍්‍රීවරයාගේ ඉහමොළ රත් වී ඇත්තේ ඒ වේලාවේදීය.

අනතුරුව ඔහු නිලධාරීන්ට දැනුම් දෙන්නේ 2012 ලබා ගත් විදෙස් ගමන් බලපත‍්‍රය නැති වූ බවය. පසුව ආගමන විගමන නිලධාරීන් මන්ත‍්‍රීවරයාට දැනුම් දී ඇත්තේ නව විදෙස් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන එන ලෙසත් ඊට වීසා ලබා ගැනීමෙන් පසුව විදෙස් ගත වීමට නෛතික හැකියාව ලැබෙන බවත්ය.

තලංගම පොලීසියට ගොස් 2012 දී ලබා ගත් විදෙස් ගමන් බලපත‍්‍රය නැති වූ බවට විමල් මන්ත‍්‍රීවරයා පැමිණිල්ලක් සිදු කරන්නේත් අනතුරුව එය ඉදිරිපත් කොට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක් දින සේවයෙන් නව විදෙස් ගමන් බලපත‍්‍රයක් ගන්නට ක‍්‍රියා කරන්නෙත් ඒ දැනුම් දීමට අනුවය.

මෙම සිදුවීම සැක සහිත වූයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට මැදිහත් වීමත් සමඟ මන්ත‍්‍රීවරයාගේ විදෙස් සංචාරය අත්හිටුවන්නට සිදු විය. ඒ අවලංගු කළ විදෙස් ගමන් බලපත‍්‍රයකට වීසා ලබා ගෙන විදෙස්ගත වීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයක්ම මතය. සැබැවින්ම මේ මොහොතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිය වෘත්තීය ස්වාධීනත්වය රැකෙන ලෙස ක‍්‍රියා කළ ද එය සිදු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකිය.

මන්ද අසාදු කළ එනම් අවලංගු කළ විදෙස් ගමන් බලපත‍්‍රයකට වීසා ලබා ගත් සාමාන්‍ය වැසියකු හසුවූවා නම් ඔය කළ විදිහට හාත්පසින් වෙනස් ආකාරයට රාජකාරි සිදු කරන නිසාය. විශේෂයෙන්ම දමිළ ජාතිකයකු වැරැදීමකින් හෝ විදෙස්ගත වීමට ආවා නම් ඔහුව හෝ ඇයව ‘කරුණාකර වලංගු විදෙස් ගමන් බලපත‍්‍රය රැුගෙන එන්න’ පන්නයේ ‘වෙල්කම්’ එකක් මත නිදහස් නොකරන අතර අවම වශයෙන් මාස කිහිපයක් රැඳවුම් නියෝග පිට කූරු ගණින්නට හෝ ඉහමොළ රත් වෙන ප‍්‍රශ්න කිරීමකට ලක් වන්නට හොඳටම ඉඩ ඇත. අවලංගු විදෙස් ගමන් බලපත‍්‍රයකට වීසා ගත්තාට නොව යන්තම් හෝ සැකයක් ආ විට මෙරට දමිළ ජනයාට තරාතිරමක් නැතුව සිදු වූ එවැනි සිදුවීම් ඉතිහාසයේ නොවූවායි කියන්නට ද නොහැකිය.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අපට සිතන්නට බල කරන්නේ තවමත් මහරජ සමයන්වල අවතාරවලට ඔවුන්ගේ ඇති කුලෑටි ප‍්‍රතිචාර යයි. එහෙත් එය ‘පව් නේ.. ඒ අය කරන්නෙත් රස්සාවක්නෙ’ වැනි සරල තත්ත්වයකට ලඝු කරන්නට අප ඉඩ හරින්නේ නැත. සැබැවින්ම විමල් මන්ත‍්‍රීතුමා පළමු මොහොතේම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන නොඑන්නේ එක් අතකින් ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන නිසාය. අනෙක් අතට ඔහු හිටපු අමාත්‍යවරයකු මෙන්ම මහින්ද පාර්ශ්වයේ පෙරමුණේ රාල කෙනකු වන නිසාය. රටේ සාමාන්‍ය වැසියාට නැති විශේෂ වරප‍්‍රසාදයක් ඔහු ලබන්නේ මේ සාධක එකට හිඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කළ නිසාය.

ප‍්‍රධාන නළුවා කරළියට ගෙන ඒම පමා කර අප මේ ඉහත අවධාරණය කළේ තවමත් මෙරට වගකිව යුතු ආයතන දේශපාලකයන් හමුවේ නීතිය ක‍්‍රියාවේ යෙදවීමට ඇඹරෙනවා නම් යහපාලනයක් තබා පුරවැසි සමාජයක් ගැන හිතීම හිතළු වක් පමණක් වන නිසාය. අනෙක් අතට පාලකයන්ගේ අවකල් ක‍්‍රියා හමුවේ ස්වයං වාරණයකින් යුතුව ක‍්‍රියාත්මක වන නිලධාරීන් දැන්වත් ඒ නරක ජාතික පුරුද්ද අත්හැරිය යුතු බව යෝජනා කරන්නටය.

දැන් ප‍්‍රධාන නළුවාට වේදිකාව විවර කරන්නට අප සූදානම්ය. මෙහි දී අප විමල් මන්ත‍්‍රීතුමාට නළුවා කියන්නේ හේතු ඇතුවය. විශේෂයෙන්ම කළ වරද හෝ අතපසු වීම පිළිගෙන ඊට මුහුණ දෙනවා වෙනුවට මෙකී සිදුවීමේ ආරම්භයේ පටන්ම අප අත්දැක්කේ පුදුමාකාර රංගනයක්ය.”මයි නේම් ඉස් ඛාන්” චිත‍්‍රපටයේ ශාරුක් ඛාන් කියන ජනප‍්‍රිය දෙබසක් වනුයේ ”මයි නේම් ඉස් ඛාන්. අයි ඈම් නොට් අ ටෙරරිස්ට්” යන්නය. ඉහත සිදුවීමේ දී මන්ත‍්‍රීතුමා හැසිරුණේ ද ඒ දෙබස සිහිපත් වන ලෙසින්ය. ‘මම විමල් වීරවංශ. මං දේශපේ‍්‍රමියෙක්.’ ඒ හරහා පැහැදිලිවම ඔහු උත්සාහ කළේ, 'මේ සියලූ බාධා තමන් දේශපේ‍්‍රමියකු ලෙස කරන දේශපාලනය නොඉවසන ආණ්ඩුවේ කෙමනක්' බව සමාජයට ඒත්තු ගන්වන්නටය. ඒ අන් කිසිවක් සඳහා නොව කළ වැරැුද්ද වසා එයින් සිය දේශපේ‍්‍රමී සළුව තවදුරටත් වර්ණ ගන්වා ගන්නටය.

පළමුව ඔහු තමන්ම පටිගත කළ වීඩියෝවක් සමාජ ජාල සහ මාධ්‍ය වෙත නිකුත් කෙරිණ. එයින් කියවුණේ ”සුද්දාගේ උසාවිය සහ ජාතියේ අවනඩුව” දේශනය විදේශයන් හි පැවැත්වීමට එරෙහිව ආණ්ඩුව බාධා කර තමන්ව ගුවන් තොටුපළේ රඳවා සිටින බවය.

ඊළඟ දර්ශනය දියත් කෙරුණේ පාර්ලිමේන්තුව තුළය. ඒ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සහ වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා හරහාය. ඔවුන් ප‍්‍රශ්න කර සිටියේ කිසිදු අධිකරණයක් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් නොකර ඇති පසුබිමක මෙසේ රඳවා ගන්නා හේතුව කුමක්ද කියාය.

යහපාලනයට කියා පැමිණි ආණ්ඩුව ද අලූ‍ත් පාරෙන් යන්න හදන්නේ පරණ කඩයටම බව ඔප්පු වෙන වචන ආණ්ඩුවෙන් එළියට ආවේ ඒ මොහොතේදීය. විශේෂයෙන්ම සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විපක්ෂයේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් පවසා සිටියේ වීරවංශ මන්ත‍්‍රීවරයාට විදෙස් ගත වීමට ඇති බාධාව ඉවත්කර දෙන්නට අගමැතිවරයා මැදිහත්ව ක‍්‍රියා කරන බවය.

කලින් ආණ්ඩුවේ කෝකටත් තෛලය මහින්ද වූවා මෙන් වත්මන් ආණ්ඩුවේ කෝකටත් තෛලය ලෙස ගන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහවය. මේ ප‍්‍රශ්නය වෙනුවෙන් අගමැතිවරයාට මැදිහත් විය හැක්කේ කෙසේද යන පැනය මෙහි දී ඇති වීම අසාධාරණ නැත.

එසේ වනුයේ කිසියම් පුද්ගලයෙක් පිළිගත් නීතියට අනුව වරදක් කර තිබේද නැද්ද යන්න තීරණය කිරීමේ කිසිදු අයිතිවාසිකමක් අගමැතිවරයාට තබා විධායක ජනාධිපතිට වත් නොමැති නිසාය. ඒ අයිතිය තිබෙන්නේ අධිකරණයටය. අනෙක් අතට මෙහි දී සිදු කර තිබෙන්නේ රටේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක්ය. එවන් පසුබිමක මේ සිදු වීමට මැදිහත් වී අගමැතිට කරන්නට දෙයක් නැත. එසේ කුමන ආකාරයකින් හෝ අගමැතිවරයා මීට මැදිහත් වනවා නම් මහින්දගේ හා රනිල්ගේ ඇත්තේ නමේ වෙනස පමණක් බව කීවාට වැරැදි නැත.

කෙසේ වුවත් මේ වන විට විමල් මන්ත‍්‍රීගේ විදෙස් ගමන් බලපත‍්‍රයේ ජහුට අධිකරණ කටයුත්තක් බවට පත්ව ඇත. ඒ නිසා ඒ ගැන තවත් අපට ලියන්නට හැකියාවක් නැත. නමුත් එසේ වූවා කියා මේ ඊනියා දේශපේ‍්‍රමීන් මෙන්ම යහපාලනය කියා අලූ‍ත් පදයට පරණ නැටුම නටන්නට හදන උදවිය රටේ නීතිය ඇද දමා තිබෙන තැන සහ ඔවුන්ගේ හැසිරීම තුළ ඊට ඇති තක්සේරුව ගැන ලියන්නට බාධාවක් නැත.

විදෙස් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී පටන් එය භාවිත කිරීම දක්වාත් එය නැති වූ විටත් හිතුමතේ කටයුතු කරන්නට නොහැකිය. ඒ සඳහා පිළිගත් නිසි ක‍්‍රමවේදයක් පවතින අතර එකී ක‍්‍රමවේදයට පිටින් කටයුතු කිරීම පැහැදිලි වරදක්ය. ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොමිලේ නිකුත් කරන පත‍්‍රිකාවේ ‘ඈ’ කොටසේ ඒ බව පැහැදිලිව දක්වා ඇත.

පිළිගත් ක‍්‍රමවේදයට පරිබාහිරව කෙනකු කටයුතු කරයි නම් ඊට තරාතිරමකින් තොරව පිළිගත් දඬුවමකට යටත් විය යුතුය. එහි දී මන්ත‍්‍රී හෝ පුරවැසි, මුදලාලි කියා වෙනසක් නැත.

ඒ අනුව මේ කවුරු වුවත් සෙල්ලම දාන්නේ රටේ නීතිය සමඟ බව පැහැදිලිය.

පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කර එයින් ද නොනැවතී ජාතික නිදහස් පෙරමුණ වූ තම පක්ෂය හරහා විශේෂ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් උත්සාහ දරන්නේ රටේ නීතිය බල්ලට දමා කළ විලිසංගේ නැති ක‍්‍රියා වසන් කරගන්නටය. ජිනීවා බිල්ලන්ගේ සිට හයිබි‍්‍රඞ් අධිකරණ සහ ජාතියේ විලාප තියන ආත්මය අවශ්‍ය මේ ක‍්‍රියා වසන් කර ගන්නටය.

‘මිනිසුන් ගැන විනිශ්චය කළ යුත්තේ ඔවුන්ගේ වචන අනුව නොව ඔවුන්ගේ ක‍්‍රියාවලින් ය. අමිහිරි වුවත් මෙය ඇත්තක් ය’ලෙනින්ගේ ඒ කියමන විමල් මන්ත‍්‍රීට පමණක් නොව යහපාලන උදවියට ද අදාළය.


අගමැතිතුමා මැදිහත් වෙලා මෙම ගැටලු විසඳුවා ද? 

අලූත් ගමන් බලපත‍්‍රය ගත්තම පරණ එක අවලංගු වෙනවා 

ලක්ෂාන් ද සොයිසා
මාධ්‍ය ප‍්‍රකාශක
ආගමන විගමන දෙපාර්තමේන්තුව

මන්ත‍්‍රීතුමා අරගෙන ඇවිත් තියෙන්නෙ නැති වුණා කියන ගමන් බලපත‍්‍රය. ඒ පිළිබඳ සැකයක් ඇති වෙලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න අපේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ සිදුවීම උසාවියට ඉදිරිපත් කරන්නෙ. ඒක දැන් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක්. අපට කෙළින්ම කියන්න බෑ එතුමා වරදක් කළාද නැද්ද කියලා. ඒක අධිකරණය තීරණය කරයි.


මේ වුණේ අතපසු වීමක්

මොහොමඩ් මුසම්මිල්
ප‍්‍රචාරක ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

පළමු වන කාරණය තමයි මෙතන ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් නෑ. ඒක කලින් තිබුණු ගමන් බලපත‍්‍රය නැති වුණ නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියාම එතැනින් ඒක අවලංගු කරනව. නැවතත් එතුමා විදේශගත වෙද්දී නැති වුණ ගමන් බලපත‍්‍රය හමු වෙනවා. නමුත් කාර්යමණ්ඩලයේ කෙනෙක් වෙතින් සිදු වන අතපසු වීමකින් මෙවර වීසා සඳහා ඉදිරිපත් කරන්නේ ඒ බලපත‍්‍රය. විමල් ඇමැතිතුමාත් ඒක දැනගන්නෙ එතැන දී. ඒක ගුවන්තොටුපළට ගෙනයද්දි තමයි ආගමන විගමන නිලධාරීන් ඒක ප‍්‍රකාශ කරන්නෙ. ඒ අනුව ගමන් බලපත‍්‍රය අරගෙන යද්දි තමයි සීඅයිඞී එකෙන් ප‍්‍රශ්න කරන්න පටන් ගන්නෙ. ඒ නිසා විදේශ ගමන් බලපත‍්‍ර දෙක තුනක ප‍්‍රශ්නයක් හෝ විදේශ ගමන් බලපත‍්‍ර වංචා කිරීමේ ප‍්‍රශ්නයක් මෙතන නෑ. නමුත් ආණ්ඩුව ඔය කරනවා කිව්ව උදව්ව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගෙන මේකෙන් දේශපාලනයක් කරන්න හදපු එක. ආණ්ඩුව ඒකෙන් තමන්ගෙ බල දේශපාලන ව්‍යාපෘතියක් දියත් කළා. නැති වුණ බලපත‍්‍රය පිළිබඳව පොලීසිය දැනුවත් කරල තමයි තව එකක් හදන්නෙ. ඒක ඕනම පුරවැසියකුට රටේ තියෙන අයිතියක්. සියලූම කටයුතු නීත්‍යනුකූලව කරල තියෙන්නෙ. අනෙක විමල් වීරවංශ වගේ කෙනෙකුට පාස්පෝට් එකක් ව්‍යාජව සකසා ගන්න තියෙන උවමනාව මොකක්ද? මෙතැන පැහැදිලිවම කාර්යමණ්ඩලය අතින් අතපසු වීමක් වෙලා තියෙනවා. හැබැයි ඒක මේ බංකොලොත් ආණ්ඩුව ජාතික ප‍්‍රශ්නයක් බවට පත් කරගත්තා.


නීතියට අනුව විමල් කළේ වරදක් - නීතිඥ සුරංග බණ්ඩාර 

මෙවැනි සිදුවීමක් වූ පසු විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කරන්නත්, අත්අඩංගුවට ගන්නත්, ඇප ලබා දෙන්නත් යම් වරදක් කරල තියෙන්න ඕන. ප‍්‍රමාණවත් කරුණු තියෙනවනම් පමණයි පුද්ගලයකු අත්අඩංගුවට ගන්න හැකියාව තියෙන්නෙ. අපි දන්නා විදිහට එවැනි තත්ත්වයක් මත තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ. ඒ අනුව ඔහු ආගමන විගමන පනත යටතේ වරදක් කරල තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දී මේ රටේ අගමැතිවරයාට කිසිම අයිතියක් නෑ එවැනි පුද්ගලයකුට රට යන්න අවස්ථාවක් ලබා දෙන්න. අපි දන්නවා මේ රටේ මිනිස්සු නීති විරෝධී විදිහට රට යන්න ගිහින් අත්අඩංගුවට ගත්තම ඒ අය අධිකරණයට ඉදිරිපත් කරලා ඇප නැතුව අවුරුදු ගණනක් ඉන්නවා. එහෙම නම්, අගමැතිවරයා මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙලා තියෙනවා නම් ඒකත් ලොකු වරදක්. නීත්‍යනුකූල නොවන ලේඛනයක් ලෙස ඉදිරිපත් කළ පුද්ගලයකුට එවැනි ලේඛනයක් මත විදේශගත වීමට යම් කිසි පුද්ගලයෙක් අනුබල දී තිබේ නම් ඔහුත් කර තියෙන්නෙ ආගමන විගමන නීති යටතේ වරදක්. අගමැතිවරයාත් එසේ කර තිබේ නම් ඒකත් බරපතළ වරදක්. එසේම රටේ අගමැතිවරයා හෝ කිසිවකුට පවතින නීතිය යටතේ එසේ කිරීමේ බලයක් නෑ. එසේනම් ඒ පුද්ගලයා කර තිබෙන්නේ රටේ නීතියට ඇඟිලි ගැසීමක්. එහෙම කරන්න අගමැතිවරයාට සදාචාරාත්මක අයිතියකුත් නෑ.


නීති උල්ලංඝනයක් වෙලා නෑ

පාක්‍යසෝති සරවනමුත්තු
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය

ඒ ගමන් බලපත‍්‍රය අවලංගු කළ ගමන් බලපත‍්‍රයක්නෙ. එතැන දි ඔහුට කියනවා ගෙදර ගිහින් අලූත් ගමන් බලපත‍්‍රය ගේන්න කියලා. අවසානයේ දී ඔහුට හරි විදේශ ගමන් බලපත‍්‍රයක් තියෙනවා. මම හිතන්නෙ එතැන ප‍්‍රශ්නයක් නෑ. මට තේරෙන්නෙ නෑ ඇයි ඒක ලොකු ප‍්‍රශ්නයක් වුණේ කියලා. මට ඒ ගැන ලොකු අදහසක් නෑ. සාමාන්‍ය පුද්ගලයකුට මේක වුණානම් අගමැතිවරයාට කතා කරලා මේක විසඳන්න බෑනෙ. ඒක මමත් පිළිගන්නවා. අරමුණ අගමැතිතුමාව විවේචනය කරන එකද? අන්තිමට නීති උල්ලංඝනයක් තිබුණෙ නෑ


මේක චණ්ඩිකමක්

ගාමිණී වියන්ගොඩ
පුරවැසි පෙරමුණ

පළවෙනි කාරණය තමයි විමල් වීරවංශ අක‍්‍රමිකතාවක නිරත වෙලා තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වෙන අවස්ථාවෙ අගමැතිවරයා විදියට ඒකට මැදිහත් වීම. එ් සිදුවීම ඇත්තක් නම් ඒක යහපාලනයට විශාල කැළැලක්. විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ වගේ කෙනකුට. දෙවන කාරණය මේ කරල තියෙන්නෙ ඉතා සරල වරදක් නොවේ. ගමේ ගොඬේ මිනිහෙකුටත් දැනුම තියෙනවා මේ වගේ වංචාවක් කොහොමද කරන්නෙ කියලා. මේකෙන් පේන්නෙ පවතින ක‍්‍රමයට වෙනස් විදිහකට මේ වගේ දූෂිත දේශපාලනඥයන්ට උදව් පදව් කරන රාජ්‍ය යාන්ත‍්‍රණයකුත් තියෙනවා කියන එකයි. මේ අතිදූෂිත මන්ත‍්‍රීවරු විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පෝෂණය කළ විමල් වීරවංශ වගේ මිනිස්සු මොන තරම් සැහැල්ලූවෙන්ද මේ රටේ නීතිය ගැන හිතන්නෙ කියන කාරණය.


සටහන : සංජය ලියනගේ 
මත විමසුම : ප්‍රදීපා වීරසේකර
http://sathhanda.lk/

Share on Google Plus