යහපාලනයේ මුවාවෙන්, නිමල් එජාප පාක්ෂිකයන් දඩයම් කරයි.


සම්මුතිවාදී ආණ්ඩුවක යහපාලනය සඳහා දායක වූ බව කියන වත්මන් ප්‍රවාහන ඇමැතිවරයා ජාතික සේවක සංගමයෙන් හා ඊට අනුබද්ධ වෘත්තීය සමිතිවලින් පළි ගනිමින් සේවකයන් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ජාතික දුම්රිය වෘත්තීය සමිතියේ ලේකම් නිහාල් ගුණරත්න මහතා චෝදනා කරයි.

ඉකුත් ජනවාරි මස 08 වැනිදා නව රජය බලයට පත්වූ පසු ප්‍රවාහන ඇමැතිවරයා විසින් පත්කරන ලද දුම්රිය දෙපාර්තමේන්තුවේ සුබ සාධක ප්‍රගති නිලධාරීන් 28කගේ පත්වීම් ඔහු විසින් අහෝසි කර ඇති බවත් මේ නිලධාරීන් 28න් 23ක්ම ජාතික සේවක සංගමයේ සාමාජිකයන් බවත් හෙතෙම පෙන්වා දෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා කොම්පඤ්ඤවීදියේ ඉදිකර ඇති දුම්රිය නිල නිවාස 21ක් තෝරාගත් නිලධාරීන්ට ලබාදීම අත්හිටුවන ලෙස ඇමැතිවරයා කර ඇති නියෝගය දුම්රිය නීති රීතිවලට පටහැනි බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

ඇමැතිවරයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම සඳහන් කරයි.

මේ පිළිබඳ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ සුබ සාධන ප්‍රගති නිලධාරීන් 28කගේ සේවය අමාත්‍යවරයා විසින් අහෝසි කරන ලද බව තමන්ටද දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳ කරුණු සොයාගෙන යන බවත්ය.

කොම්පඤ්ඤවීදියේ දුම්රිය නිල නිවාස හෙට (29දා) නාගරික සංවර්ධන අධිකාරියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාරගන්නා බවත් ඉන් පසු නිසි ක්‍රමවේදයක් හා ප්‍රමුඛතාව මත අදාළ නිලධාරීන්ට ලබාදීමට කටයුතු යොදන බවත් හෙතෙම සඳහන් කෙළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතාගෙන් මේ පිළිබඳ වැඩිදුර විමසීමට අප උත්සාහ කළද ඔහු දුරකතනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Share on Google Plus