මර්වින්ට විරුද්ධව රාජපක්ෂලා අල්ලස් කොමිසමට.


හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට විරුද්ධව රාජපක්ෂවරුන් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණිල්ලක් කිරීමට සූදානම්  වන බව ඔවුන්ට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාශයට හා අල්ලස් කොමිසමට මර්වින් සිල්වා කරන ලද පැමිණිල්ලට එකට එක කිරීමක් ලෙස රාජපක්ෂවරුන් මෙසේ පැමිණිලි කිරීමට සූදානම් වේ.

මෙම පැමිණිල්ල සනාථ කිරීම සඳහා රාජපක්ෂවරුන් විසින් මර්වින් සිල්වා සතු ඉඩම් කීපයකම ඔප්පු තිරප්පු සොයාගෙන තිබේ. ඉන් එක ඔප්පුවක පිටපතක් ඔවුන්ගේ සමීපතමයන් විසින් අප වෙත එවා තිබේ. මර්වින් සිල්වාට හිමි ඉඩකඩම් අතර නුගේගොඩ නාවල පාරේ තෙමහල් ගොඩනැගිල්ලක්, කොළඹ 05 පාක් පාරේ පස්මහල් ගොඩනැගිල්ලක්, කැළණිය ප්‍රදේශයේ අක්කරයක පමණ ගොඩකරන ලද ඉඩමක්, හලාවත පොල් අක්කර 50 ක් මෙන්ම නුගේගොඩ, කිරුළපන, මහරගම, මිරිහාන වැනි ප්‍රදේශවල ගෙවල් කීපයක ඔප්පු තිරප්පුවල පිටපත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න රණවීර විසින් රාජපක්ෂවරුන් හට ලබාදී තිබේ.

මෙම පැමිණිල්ල පිළිබඳව ඉවවැටී ඇති මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් මේ පිළිබඳව විස්තර ලබා ගැනීම සඳහා මර්වින්ගේ හොඳම ගෝලයින් දෙදෙනෙකු වන රංජන් සිල්වා හෙවත් කළු රංජා සහ නාමල් රත්නායක යන දෙදෙනාව පෙරේදා (29) මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ඇත. මෙම කළු රංජා යනු මර්වින් සිල්වාගේ පොලී මුදල් එකතුකරන්නා වේ. මොහු කාර්සේල් හිමිකරුවෙකු වන අතර ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ රජයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් කළු සල්ලි පොලියට දීමයි. මියගිය දේශපාලඥයින්ගේ මුදල් මේ වන විට ඔහුටම සින්න වී තිබේ.

කළු රංජා FCID ට කැඳවා ඇති බව දැනගෙන ඇති ඔහුට පොලියට දීම සඳහා මුදල් දී ඇති යහපාලන රජයේ ප්‍රභල ඇමතිවරයෙකු ඔහු වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කතා කොට තිබේ. පෙරේදා (29) FCID ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එළියට පැමිණ ඇති කළු රංජා පවසා ඇත්තේ ‘මර්වින් ලොක්කා ගැන මං දන්න සේරම දේවල් කිව්වා' කියාය.

මර්වින් සිල්වාගේ ඔප්පුවේ පිටපතක් පහතින් පලවේ,

-LNW
Share on Google Plus