ආණ්ඩුවේ විසිල් විතරයි බල්ටි නෑ.


මාධ්‍ය ඉදිරියේ සන්දර්ශන දමමින් කුඩු ජාවාරම්කාරයන්ගේ ලිස්ට් තියෙනවා, ඒ අයට සම්බන්ධ දේශපාලකයන්ගේ ලිස්ට් තියෙනවා කිය කියා බෙරිහන් දුන්නාට මේ වන විටත් ඒවාට සැබෑ ලෙස වගකිවයුත්තන්ගේ එකදු නමක්වත් හෙළිකර නොමැති බවත්, කුඩු කන්ටේනර්වලට, එතනෝල් කන්ටේනර්වලට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කර නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා චෝදනා කරයි.


මේ ආණ්ඩුව ගමන් කරන විදියට මොවුන් කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරියේදීත් හෙළි නොකරන බව පැවැසූ ඒ මහතා ඊට එරෙහිව මේ ආණ්ඩුව ක්‍රියාමාර්ග නොගන්නා බවට විශ්වාස බවද පැවැසීය.
එතනෝල්, හෙරොයින්, ගංජා මේ ඕනෑම ජාවාරමකට දේශපාලන රැකවරණය, ආශීර්වාදය ලබා දෙන්නේ නැහැ යැයි පාලකයන් පැවැසුවද එයත් දැන් විහිළුවක් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.


මේ දවස්වල වෙනදට වැඩිය මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඕනා කියලා පාරම්බාන දේශපාලනඥයන්ගේ කතා ඇහෙන්න දකින්න තියෙනවා. මේවා ඔක්කොම කතා විතරද? වගකිවයුත්තෝ අපට ඔන්න බිල්ලා, මෙන්න බිල්ලා කියලා පෙන්වලා සද්ද නැතුව ඉන්නවා. ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනව නම් ඒක ගමේ නගරේ අපි හැමෝටම දැනෙන්න ඕන. ඒත් ඒක එහෙම වෙනවද කියන කාරණය නම් ප්‍රශ්නයක්.
ලංකාවේ ජනගහනයෙන් 0.5%ක් එනම් ලක්‍ෂයක් විස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව ඔබ දන්නවාද? 2014 වසරේදී පමණක් හෙරොයින් ළඟ තබාගැනීම නිසා සිරගත වූ ප්‍රමාණය 10,165ක්. ලංකාව තුළ සිදුවන අපරාධවලින් 40%ක් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන අපරාධ බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගෙන් 43%ක් විවිධ මත්ද්‍රව්‍යවලට පුරුදුව සිටින්නන් බව වාර්තා වෙනවා. මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර නිසාවෙන් රෝගී වන්නන් සඳහා වසරකට රජයේ වියදමින් 22%ක් වැය වෙනවා.


පසුගිය සමයේදී අපට අසන්නට ලැබුණු විවිධ පුවත් තුළින් අප දුටුවේ මේ ඛේදවාචකයේ තරමයි. කුඩු කන්ටේනර්, එතනෝල් කන්ටේනර් ආනයනය කරන අයුරු අපට දක්නට ලැබුණත් ඒවායේ සැබෑ ජාවාරම්කරුවන් හා දේශපාලන අධිකාරිය නීතියේ රැහැනින් මඟහැර සිටිනවා. බොහෝ විට නීති හදන පාර්ලිමේන්තුවේත්, ඒවා ක්‍රියාත්මක කරන අධිකරණයේත්, පොලිසියේ හා ඇස් ඇරවන ජනමාධ්‍යයේත් ජාවාරම්කරුවන්ගේ සහායකයන් සිටිනවා. ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍ෂේත්‍රයේ මහා ගරාවැටීමකට මඟපෑදූ කුඩු, එතනෝල්, ගංජාවලට එරෙහිව මෙතෙක් කිසිදු ආණ්ඩුවක් විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. ඇස් බැන්දුම් හා පැලැස්තර ඇලවීම් පමණක් දේශපාලන න්‍යායපත්‍ර මත සකසනවා. ජාවාරම යෙහෙන් වැජඹෙනවා.


එතනෝල්, කුඩු, ගංජා එක්ක තව ගොඩක් මත්ද්‍රව්‍ය රටේ තරුණයන් හා ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරද්දී වේදිකාවලට හරි ප්‍රතිපත්ති ප්‍රකාශනයකට හරි පමණක් සීමා වුණු අපේ රටේ මත්ද්‍රව්‍ය නිවාරණය හා එහි සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මාධ්‍ය සන්දර්ශන පවත්වමින් අපි ගාව කුඩු ජාවාරම්කාරයන්ගේ ලිස්ට් තියෙනවා, ඒ අයට සම්බන්ධ දේශපාලඥයන්ගේ ලිස්ට් තියෙනවා කියලා කිව්වට තවමත් මේවාට සැබෑ ලෙසම වගකිවයුත්තන්ගේ එකදු නමක්වත් හෙළි කරලා නැහැ වගේම නීතිමය ක්‍රියාමාර්ග අරගෙනත් නැහැ. ඒකයි විසිල් විතරයි බල්ටි නෑ කියන්නේ.


මෙහෙම ගියොත් ඉස්සරහට හෙළි කරන්නෙත් නැහැ. ක්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. ඒක විශ්වාසයි. එතනෝල්, හෙරොයින්, ගංජා මේ ඕනෑම ජාවාරමක් පිටිපස්සේ දේශපාලනයේ ආශීර්වාදයක් නෑ කිව්වොත් ඒක විහිළුවක්. වගකිවයුත්තෝ කරන කල් නිකන් බලා ඉඳලා රටේ තරුණ දරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ උගුලේ වැටෙන්න දෙන්න බැහැ. එහෙනම් අඩුම තරමේ මේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් හා එයට සහාය වී ඇති දේශපාලනඥයන්ගේ නම් රටට හෙළිකරන ලෙස බලකරන බලවේගයක් ගොඩනඟමු. ඒ වගේම මෙතෙක් කට පියාගෙන හිටියට බොරුවට මත්ද්‍රව්‍ය නිවාරණය හෝ තුරන් කිරීම ගැන කියපු අය ඒ වෙනුවෙන් කළේ මොකක්ද කියලා දැන්වත් ප්‍රශ්න කරමු. 

ජාවාරම්කාරයන්ට ඕනෑ විදියට නැටවෙන මහජන නියෝජිතයන් හොඳින් හඳුනගෙන නිසි පාඩම් උගන්වමු. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට මුක්කු ගහන්න ලැජ්ජ වෙන හා බය වෙන විදියේ ප්‍රතිචාර දක්වමු.

Share on Google Plus