ගිය රජයේ ලොක්කන්ගේ ඩොලර් බිලියන 500ක් ඩුබායි බැංකුවල.


ඉකුත් රජයේ ප්‍රබල දේශපාලනඥයන් රැසකගේ ඩොලර් බිලියන 500කට අධික තැන්පතු මුදල් සහිත ගිණුම් 8ක් ඩුබායිහි බැංකුවල පවතින බව මේ වනවිට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, කැබ්නට් සම ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් කොට එම මුදල් අත්පත් කර ගැනීමට රජය පියවර ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.

ඩොලර් බිලියන 1.086ක්, ඩොලර් බිලියන 1.8ක් සහ ඩොලර් බිලියන 500ක් වශයෙන් මෙම ගිණුම් අටට අයත් ගිණුම් තුනක මුදල් තිබෙන බවද ඇමැතිවරයා කීය.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඒ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (15) පැවැති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දැනට මේ සම්බන්ධයෙන් සිදුකැරෙන අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණවලදී එම ගිණුම්වලට බැර කළ සෑම ඩොලරයක් ම තැන්පත් කැර ඇත්තේ කොතැනින් ද, කවදාද යනාදී සියලු තොරතුරු අනාවරණය කර ගත හැකි බවත්, ඒවා අයත්ව තිබෙන්නේ කාහටදැයි පරීක්ෂණ අවසන්වූ පසු රටට හෙළිදරව් කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එවැනි විදේශ ගිණුම් කිසිවක් රාජපක්ෂවරුන්ට හෝ තමන්ට නැති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කර තිබෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසුවේ ඔහුට එවැන්නක් ඇති බව කිසිවකු පවසා නැති නිසා කළ යුත්තේ නිකම් තොප්පි දමා නොගෙන අනෙකුත් රාජපක්ෂවරුන් මෙන් නිශ්ශබ්දව සිටීම බවත් ය.

Share on Google Plus