මුල් ළමාවිය සංවර්ධනයට රජයෙන් ඩොලර් මිලියන 50 ක්.


මුල් ළමා විය සංවර්ධනයට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය ඇ:ඩො: මිලියන 50 ක මුදලක් ලබාදීමට එකඟ වී ඇත.

කුඩා දරුවන් තම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ඇති සූදානම වැඩිකිරීම හා එමඟින් වඩාත් යහපත් වූ අධ්‍යාපනික ප්‍රතිඵල ලැබීම සහ වරප්‍රසාද නොලද දරුවන් සඳහා වැඩි අවස්ථා සැලසීමෙන් අධ්‍යාපනික විෂමතාවන් අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙය හිමිවී තිබේ.

2016-2020 වර්ෂ සඳහා වූ රජයේ අයවැයට සමගාමීව මෙම අරමුදල් මුල් ළමාවිය සංවර්ධනය වැඩසටහන් සඳහා යොදවන අතර, අවම වශයෙන් කුඩා දරුවන් 170,000කට හා මුල් ළමාවිය සංවර්ධන ආයතන 6,000කට මෙමඟින් ප්‍රතිලාභ හිමිවෙනු ඇත. මුල් ළමාවිය සංවර්ධන පහසුකම් වැඩිදියුණු කිරීම, අධ්‍යාපනික උපකරණ සැපයීම, ගුණාත්මක කළමනාකරණය, ගුරුවරුන් හා ගුරු සහායකයින් ඇතුලු කාර්ය මණ්ඩල පුහුණුව සහ දරුවන්ගේ සෞඛ්‍යය හා පෝෂණය වර්ධනය මෙමඟින් අපේක්ෂිත ප්‍රතිලාභ වේ.

මේ සඳහා වූ මූල්‍ය ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාද, ලෝක බැංකුව වෙනුවෙන් ලෝක බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ෆ්‍රැන්කොයිස් ක්ලොට්ස් මහත්මියද 2015 ඔක්තෝබර් මස 23 වන දින මුදල් අමාත්‍යංශයේදී අත්සන් කරනු ලැබීය.


Share on Google Plus