දුමින්ද ඇතුළු 13 දෙනාට එරෙහි නඩුව අද ඇරැඹේ.


හිටපු ජනපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු අංගොඩදී වෙඩි තබා ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව

නඩු විභාගය කොළඹ මහාධිකරණයේ දි අද (12) ආරම්භ කෙරේ. සුවිශේෂී නඩු කටයුත්තක් ලෙස සලකා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණේ.

ඒ අනුව නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක ගුණතිලක හා එම්. සී.බි. එස්. මොරායාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් පත්කොට ඇත. අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්.ඒ. චාලක සමීර, විද්‍යාගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, ජනක බණ්ඩාර ගලබඩ, අරුමාදුර ලෝරන්ස් රොමෙ‍ලෝ දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ ලියනාරච්චි යන විත්තිකරුවනට එරෙහිව මෙම නඩුව විභාගයට ගැණේ.

ජනක බණ්ඩාර ගලබඩ නැමැති 10වන විත්තිකරු මෙම නඩුවේ ලඝු නොවන විභාගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සිට අතුරුදහන්ව ඇති හෙයින් ඔහු නැතිව නඩුව විභාගයට ගැනීම සඳහා නීතිපතිවරයා වෙත අධිකරණය මඟින් අවසර ලබා දී ඇත. බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැති 2011 ඔක්තෝම්බර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අංගොඩ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ජලාබ්දීන් මොහොමඩ් අසීම්, මහිවෙල් කුමාරස්සාමි, දමිත දර්ශන ජයතිලක යන අයගේ මරණ සිදුකළ බවට හා රාජපුරගේ ගාමිණී නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බවට විත්තිකරුවන් සියලු දෙනා හට නීතිපතිවරයා විසින් අධි චෝදනා නඟා ඇත.

තවද 2011 ඔක්තෝම්බර් 08 වැනිදා පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් හට ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීමට පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය යොදා කැරැළි ගැසූ බවට ද එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග නමැති පොලිස් නිලධාරියාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවට ද නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන් විසින් සිදුකර ඇති බවට ද නීතිපතිවරයා විසින් විත්තිකරුවනට චෝදනා එල්ල කර ඇත. විත්තිකරුවන් හට නීතිපතිවරයා විසින් 2015 මාර්තු මස 03 වැනිදා අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් සියලු දෙනා දැනට අධිකරණ ඇප මත මුදා හැර සිටී.

Share on Google Plus